ඉන්දියාවෙන් ගෙනා බිත්තරවල සාම්පල පරීක්ෂාවට

ඉන්දියාවෙන් ගෙනා බිත්තරවල සාම්පල විද්‍යාගාර පරීක්ෂණවලට යොමු කෙරේ

by Staff writer 24-03-2023 | 3:54 PM

COLOMBO (News 1st) – විද්‍යාගාර පරීක්ෂණ සඳහා ආනයනික බිත්තරවල සාම්පල ලබා ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ, වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළේ, කුරුලු උණ වෛරසය ඇතුළු වෛරස් වර්ග ගණනාවක් සම්බන්ධයෙන් එම පරීක්ෂා කිරීම් සිදුකරන බවයි.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතයේ හා පශු වෛද්‍ය පර්යේෂණාගාරයේ පරීක්ෂා කිරීම් සිදු කෙරෙනු ඇති.

දින 4 ක් ඇතුළත අදාළ වාර්තා ලබා දීමට නියමිත අතර වාර්තාවල ගැටලුවක් නොමැති නම්, බිත්තර තොගය වෙළඳපොළට මුදා හැරීමට අවසර දෙන බව වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළා ය.

මෙරට බිත්තර හිඟයට හා බිත්තර මිල ඉහළ යාමට පිළියමක් ලෙස බිත්තර තොගයක් ඊයේ (24)  කොළඹ වරායට ආනයනය කෙරුණේ ඉන්දියාවේ සිටයි.