බිඳී ගිය ශ්‍රී ලංකා අපේක්ෂාව..

ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක ශූරතාවලියෙන් ඉවතට

by Staff writer 13-03-2023 | 7:56 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය.

ඒ, නවසීලන්තය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පරාජය වීමත් සමගයි.

ක්‍රයිස්චර්ච්හීදී පැවැති තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 355ක් රැස් කළ අතර පිළිතුරු ලෙස සත්කාරක නවසීලන්තය රැස් කළ  ලකුණු සංඛ්‍යාව 373කි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 302ක්  ලෙස සටහන් වූ අතර නවසීලන්තයට ලකුණු 285ක ඉලක්කයක් හිමි විය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අද (13)  තරගය ආරම්භය ප්‍රමාද වීමත් සමග නවසීලන්ත අභියෝගය අසීරු තත්ත්වයකට පත්ව තිබුණි.

කේන් විලියම්සන් සහ ඩැරල් මිචෙල් එම අසීරු ඉලක්කයට අස්වැසිල්ලක් ගෙන ආවේ සිව්වැනි කඩුල්ලට ලකුණු 142ක සබඳතාවක් ගොඩනගමිනි.

මිචෙල් ලකුණු 81ක් රැස් කළ අතර හිටපු නායක කේන් විලියම්සන් ලබා ගත්තේ සිය 27වැනි ශතකයයි.

අද(13) දිනයේ අවසන් පන්දුවාරයට පෙර ක්‍රියාත්මක වූ පන්දුවාරය තුළ ධනංජය ද සිල්වා රැකගත් උඩ පන්දුවත් සමග නැවතත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ ගිය අතර අවසන් පන්දුවාරය තුළ නවසීලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 8කි.

අසිත ප්‍රනාන්දු ක්‍රියාත්මක කළ පළමු පන්දු දෙක තුළ ලකුණු 2ක් නවසීලන්තය රැස් කළ අතර තුන් වැනි පන්දුවේදී මැට් හෙන්රි දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වීමත් සමග නැවතත් නවසීලන්ත ක්‍රීඩකයින්ට පීඩනය යොමු විය.

අසිත ක්‍රියාත්මක කළ සිව්වැනි පන්දුවේදී කේන් විලිම්සන් හතරේ පහරක් එල්ල කළ අතර පස්වැනි පන්දුවේදී නවසීලන්තයට ලකුණු රැස් කිරීමට නොහැකි වූ අතර අවසන් පන්දුව තුළ ජයග්‍රහණය සඳහා එක් ලකුණක් ලබා ගත යුතුව තිබුණි.

අසිත ක්‍රියාත්මක කළ තරගයේ අවසන් පන්දුවේදී සිය ඉලක්කය සපුරා ගත් නවසීලන්තය, ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ක්‍රිකට් ලෝක ශුරතාවලියේ අවසන් තරගයට පිවිසීමේ සිහිනය බොඳ කළේ ය.