ඇප මුදල් භාර ගැනීම අත්හිටවූ රාජ්‍ය පරිපාලන ලේකම්ගේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

by Staff writer 16-02-2023 | 12:18 PM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම අත්හිටුවමින් රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම ලබන මස 23 වැනි දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) දින නියම කර තිබේ. 

මෙම පෙත්සම අද සලකා බැලුවේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීයි.

මෙය ජනතාව සතු සර්වජන ඡන්ද බලයට බාධා කිරීමට තැත් කිරීමක් පිළිබඳ පෙත්සමක් වන බැවින් කඩිනමින් එය සලකා බැලීමට දින නියම කරන ලෙස පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලීමක් කළේ ය. 

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරීල් පුල්ලේ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා විසින් කළ දැනුම් දීමක් අනුව නිකුත් කළ එම චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පැය කිපයකට පසු ඉල්ලා අස් කරගෙන ඇති බවයි. 

ඒ සම්බන්ධයෙන් ඔහු මැතිවරණ කොමිෂන් සභාවට කනගාටුව පළ කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය. 

සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.