මෙරට HIV ආසාදිතයින් දෙගුණයකින් ඉහළට

HIV ආසාදිතයින් දෙගුණයකින් ඉහළට.... අසාදිතයින් අතර සරසවි සිසුන් සහ පාසල් ළමුන් කිහිප දෙනෙකුත්

by Staff writer 26-10-2022 | 10:31 AM

COLOMBO (News 1st) –   මෙරට HIV ආසාදිතයින් වාර්තාවීම දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. 

ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රාසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවේ,  පසුගිය වසරේ පළමු කාර්තු දෙක තුළ ආසාදිතයින් 148 දෙනෙකු හඳුනා ගත් බවයි. 

මේ වසරේ එම සංඛ්‍යාව 342 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඇය ප්‍රකාශ කළා ය.

විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ,  වැඩිම අසාදිතයින්  සංඛ්‍යාවක්   හඳුනා ගෙන ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බවයි. 

මෙම වසරේ ජුනි වන විට ආසාදිතයින්  274 දෙනෙකු හඳුනාගෙන තිබූන ද  සැප්තැම්බර් වනවිට තවත් නව අසාදිතයින් 342 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළා ය. 

පසුගිය වසරේ වයස අවුරුදු 18 - 30 අතර ආසාදිතයින් 25 දෙනෙකු පමණ ද හඳුනා ගත්ත ද මෙම වසරේ මේ දක්වා 50 දෙනෙකුට  වැඩි ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන තිබේ. 

ආසාදිතයින් අතර වැඩි පිරිස පිරිමි පුද්ගලයින් බවත් ඒ අතර විශ්වවිද්‍යාල ළමයි 13 දෙනෙකු සහ  පාසල් ළමුන් කිහිප දෙනෙකු ද සිටින බවත්  විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.  

HIV ඇතුළු අනකුත් ලිංගාශ්‍රිත රෝගවලින් 95%ක්ම බෝ වන්නේ ලිංගික සම්බන්ධතා මගිනි.  

විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ , පාසල් තුළ ලිංගික අධ්‍යාපනය නිසි පරිදි ලබා නොදීම මෙන්ම රෝගය පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කිරිම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි. 

තමන්  HIV ආසාදිතයෙකු දැයි හඳුනා ගැනීම සඳහා අවදානම් කණ්ඩායම් කඩිනමින් පරික්ෂණ සඳහා යොමු වීමේ වැදැගත්කම ද ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාර අවධාරණය කරයි.