දකුණේ ඝාතනවලට හේතුව පොලීසිය කියයි

දකුණේ ඝාතනවලට හේතුව සංවිධානාත්මක අපරාධ කල්ලි අතර අර්බුදයි - පොලීසිය

by Staff writer 25-08-2022 | 6:45 AM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින අර්බුද හේතුවෙන් දකුණු පළාතේ ඝාතන සිදුවන බව පොලීසිය පවසයි.

මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ඊයේ (24) ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයා මීට පෙර ඝාතන සිද්ධියකට සම්බන්ධ බවය.

ඇල්පිටිය, ඌරගස්මංහන්දිය නුගොඩමුල්ල ප්‍රදේශයේ ඊයේ(24) පස්වරුවේ සිදු කළ වෙඩි තැබීමකින්, මිය ගියේ කොණ්ඩා කපන ස්ථානයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර තිබුණි.

මේ අතර ගම්පහ සහ අහුංගල්ල ප්‍රදේශවලින් ද ඊයේ (24) වෙඩි තැබීමේ සිදුවීම් වාර්තා විය. 

ගම්පහ, මාකවිට මාර්ගයේ බටපොත කුරුස හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගිය අතර වෙඩි තැබීම සිදු කර තිබුණේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසිනි.

වෙඩි වැදීමෙන් 34 හැවිරිදි අනුරුද්ධ පුෂ්පකුමාර නැමැති මැදගමුව, කොටුගොඩ පදිංචි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක් මිය ගියේ ය.

මේ අතර ඊයේ දහවල් අහුංගල්ල, ඌරහග පාරේ සිදු වූ අනෙක් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලැබුවේ ය. 

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පලාගොස් තිබුණි. 

ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් සමග සමීප ඇසුරක් පවත්වා ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.