පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීමට එක්වන්න

9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වන්න -  පාර්ලිමේන්තු මහලේකම්වරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි..

by Staff writer 30-07-2022 | 7:02 AM

COLOMBO (News 1st) –  09වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වන්නැයි පාර්ලිමේන්තු මහලේකම්වරයා සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි. 

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරයන් වෙත ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපතිතුමා විසින් ලබන 03 වැනිදා පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බවයි.

09වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ආරම්භ කිරීමට අදාළ ලිපි ලේඛන පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවද මහලේකම්වරයා පවසයි. 

ඒ අනුව 09වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය වාර අවසාන කරමින් ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද ප්‍රකාශනය ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත්ත කිරීමට අදාළ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සහ එදිනට අදාළ විස්තර සටහන පාර්ලිමේන්තු වෙබ් අඩවිය තුළින් පරිශීලනය කළ හැකි බව මහලේකම්වරයා සඳහන් කළේ ය.