ජනපතිට පිටත්ව යාම සඳහා පවතින රජයේ ඉල්ලීමට අනුව ගුවන් හමුදා යානයක් ලබා දුන්නා - ගුවන් හමුදාව

by Sagarika Chathumali 13-07-2022 | 8:26 AM

COLOMBO (News 1st) –  ජනාධිපතිවරයාට සිය බිරිඳ හා ආරක්ෂකයන් දෙදෙනෙකු සමග කටුනායක සිට මාලදිවයින බලා පිටත්ව යාමට පවතින රජයේ ඉල්ලීමට අනුව ගුවන් හමුදාවේ යානයක් අද (13) අලුයම ලබා දුන් බව ගුවන් හමුදාව පවසයි. 

ගුවන් හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ගුවන්තොටුපොළ ආගමන විගමන, රේගු හා අනෙකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයා, බිරිඳ සහ ආරක්ෂකයින් දෙදෙනකුට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදා යානයක් ලබා දුන් බවයි. මේ අතර විදෙස් මාධ්‍ය අද උදෑසන වාර්තා කර තිබුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවරට පිටත්ව ගොස් ඇති බවයි. අද අලුයම 1.45 ට පමණ රටින් පිටව ගොස් ඇති ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් යානය අලුයම 3.00 පමණ වන විට යානය මාලේ අගනුවරට ළඟා වී ඇති බව ද BBC පුවත් සේවය වාර්තා කර තිබිණ.