by Staff writer 13-05-2022 | 7:14 PM
COLOMBO (News 1st) - මල්වානේ නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදීම ජුනි මස 03 වැනි දාට කල් තබා තිබේ.
ඒ, ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.
දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර දාසයක ඉඩමක් මිලදී ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා තුනක් යටතේ මෙම නඩුව පවරා තිබේ.
පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂ රටේ පවතින අයහපත් වාතාවරණය මත මහාධිකරණය හමුවේ පෙනී නොසිටින බව නීතිඥවරු අද නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයට දැනුම් දුන්හ.
දෙවැනි විත්තිකාර තිරුකුමාරන් නඩේෂන් මහාධිකරණයට ඉදිරිපත් වීම සඳහා විදෙස්ගතව සිට පැමිණ ඇති බවත් ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පෙනී නොසිටින බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්රිෂාංකා ප්‍රනාන්දු මහත්මිය පෙනී සිටියා ය.
ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නඩුවේ තීන්දුව ලබා දීම ජුනි මස 03 වැනි දාට කල් තැබිණ.
එදිනට විත්තිකරුවන් දෙදෙනා මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට දෙපාර්ශ්වයේම නීතිඥවරුන් මහාධිකරණය හමුවේ එකඟතාවය පළ කර ඇත.