by Staff Writer . 03-05-2022 | 8:03 AM
සමස්ත ලෝකවාසි ඉස්ලාමීය බැතිමතුන් මාසයක් පුරා උපවාස සීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව සමරන රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය අදට යෙදී තිබේ.
ඒ වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ආගම විසින් උගන්වන සමාජ ධර්මතා සමාජ යහපතට හේතු වන ලෙස යොදා ගැනීමට සියලු දෙනාට වගකීමක් ඇති බවයි.
ශ්‍රී ලාංකීය ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ලෝකවාසී සියලු ඉස්ලාමීය බැතිමතුන්ට මෙම රාමසාන් මංගල්‍යයෙන් පසු එළැඹෙන කාලය සතුට , සුවය සහිත වූ කාලපරිච්ඡේදයක් වේවා යැයි, ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කරයි.
රාමාසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටින්නේ මුළු රටම අභියෝගාත්මක කාලයකට මුල පුරා ඇති මෙම වකවානුව තුළ සමාජයේ අනෙකුත් පුද්ගලයින් පිළිබඳව ද සංවේදී වෙමින් පරිත්‍යාගශීලිත්වය කෙරෙහි සිත නැඹුරු කරන ලෙසයි.
ඔබ සැමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය පිරි ප්රිතිමත් ඊද් -උල් -ෆිතර් උත්සවයක් වේවා යැයි අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක් කර තිබේ.
කුසගින්නෙන් පෙළෙන ජනතාව විඳින පීඩාව කෙබඳු දැයි අවබෝධ කර ගැනීමටත් , ඒ පිළිබඳ සංවේදී සිතින් පරිත්‍යාගශීලි ජීවිතයකට යොමු වීමටත් , සිත දමනය කිරිමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් රාමසාන් උපවාස සමය අගනා අවස්ථාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ රාමසාන් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.
සියලු ඉස්ලාමීය බැතිමතුන්ට එකිනෙකා කෙරෙහි දයාබරත්වයත් , අප්‍රමාණ සහෝදරත්වයත් සහනශීලි පිළිවෙත මුල් කොට ගනිමින් උදාර මාතෘ භූමියක් ගොඩනැගීම සඳහා වූ අධිෂ්ඨානය සහිත රාමසාන් දිනයක් වේවා යැයි විපක්ෂ නායකවරයා සුබ පැතුම් එක් කරයි.