by Staff Writer . 12-04-2022 | 11:53 AM
COLOMBO (News 1st) – සිංහල - දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට තවත් ඇත්තේ දින 2 ක් පමණයි.
නමුත් ජනතාවට තවමත් කාලය ගත කිරීමට සිදුව ඇත්තේ, ගෑස් සහ තෙල් පෝලිම්වලයි.
ඩීසල් තිබියදීත් ජනතාවට ලබා නොදිම හේතුවෙන් අම්පාර උහන ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රියේ නොසන්සුන්තාවක් ඇති විය.
පිරිස අම්පාර උහන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත විය.
පසුව උහන පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ ජනතාවට තෙල් ලබා දෙන බවට පොරොන්දු විමෙන් පසුව තත්ත්වය සමථයකට පත්විය.
මඩකළපුව ආරයම්පති ඉන්ධන පිරවුම්හල අසල දිගු පෝලිම් පවතින්නේ ඊයේ දහවල් සිටයි.
රාත්‍රී 10.00 ට පමණ වන විට පෙට්‍ර්ල් අවසන් බව දැනුම් දීමෙන් පසු එහි රැස්ව සිටි ජනතාව විරෝධතාවක නිරත විය.
අනුරාධපුර නගරයේ ඉන්ධන පිරවුම්හල් රැසකම ඩීසල් අවසන්ව ඇතැයි අප වාර්තාකරුවෝ සඳහන් කළහ.
ඇතැම් පිරවුම්හල්වල පෙට්‍රල් ද නිකුත් කෙරුණේ සීමා සහිතවයි.
මහනුවර සහ ඒ අවට ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල අද උදෑසන සිට දිගු පෝලිම් දක්නට ලැබේ.
මේ අතර නීතිවිරෝධි ලෙස පෙට්‍රල් ගබඩා කර තබා ගනිමින් වැඩි මිලට අලෙවි කළ සැකකරුවෙකු වත්තල හැඳලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදියි.
සැකකරු සන්තකයේ තිබී පොලිසිය භාරයට ගෙන ඇති පෙට්‍රල් ප්‍රමාණය ලීටර් 30 යි මිලිලීටර් 750 කි.
71 හැවිරිදි සැකකරු හැඳලවත්ත ප්‍රදේශම පදිංචිකරුවෙකි.
මේ අතර ගෑස් අර්බුදයත් තවම අවසන්වී නොමැත.
ගෑස් ඉල්ලා ගාල්ල නාගොඩ ප්‍රාදේශවාසීන් අද උදෑසන විරෝධතාවක නිරතවුණේ නාගොඩ පොලිසිය ඉදිරිපිටදීයි.
මෙම විරෝධතාව හේතුවෙන් නාගොඩ මාපලගම මාර්ගය, නාගොඩ බද්දේගම මාර්ගය සහ නාගොඩ වඳුරඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල විය.
ගෑස් ලබා ගැනීමට හික්කඩුව සතිපොල අසල අද අලුයම සිට රැඳී සිටි ජනතාවට ගෑස් බෙදා දුන්නේ උදෑසන පැමිණි ගෑස් ලොරියකිනි.
මෙහිදී උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.
මහනුවර අස්ගිරිය සුමංගල මාවත අවහිර කරමින් ප්‍රදේශයේ ජනතාව ගෑස් ඉල්ලා අද උදෑසන විරෝධතාවක නිරත විය.
අප වාර්තාකරු සඳහන් කළේ, දින 4ක සිට ගෑස් ලබා ගැනිම සඳහා ජනතාව පෝලිම්වල රැඳී සිටින බවයි.
පසුව මහනුවර පොලිස් නිලධාරින් පැමිණ අද දිනය තුළ ගෑස් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසු පිරිස තාවකාලිකව එම ස්ථානයෙන් පිටව ගියේ ය.
වැලිගම ප්‍රදේශයේ ගෑස් අලෙවි සැළක ඊයේ නොසන්සුන්තාවක් ඇතිවිය.
ඒ එම අලෙවිසැලට ලැබුණු ගෑස් සිලින්ඩර් 190 න් 140ක් පමණ ජනතාවට බෙදා දී අලෙවිකරු ගෑස් වෙළඳසැල වසා දැමීම හේතුවෙනි.
මේ අතර වව්නියාව නගරයේ ගෑස් අලෙවිසැල අසල අද දිගු පෝලිම් දක්නට ලැබිණ.