ඉදිරි දිනවලදී විදුලි කප්පාදුව අඩු කරනවා - PUCSL

ඉදිරි දිනවලදී විදුලි කප්පාදුව අඩු කරනවා - මහජන උපයෝගිතා කොමිසම

by Staff writer 03-04-2022 | 9:20 AM

COLOMBO (NEWS1ST) :  ඉදිරි දින කිහිපයේ විදුලිය කප්පාදුව සැලකිය යුතු ලෙස අඩු කරන බව මහජන උපයෝගිතා කොමිසම(PUCSL) පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සදහන් කළේ, විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන ප්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් වෙන් කරන බවට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිත සහතිකයක් ලැබී ඇති බවය. ඒ අනුව ඉන්දීය ණය යටතේ අද(03) දිනයේ ඩීසල් මෙට්‍රික් ටොන් 12,000 ලැබීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය. මේ අතර, සොජිස්ට් බලාගාරයේ විදුලිය නිෂ්පාදන කටයුතු අද(03) දවස තුළ යළි ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි වැඩ බලන සාමාන්‍යාධිකාරී ආචාර්ය රොහන්ත අබේසේකර මහතා පැවසුවේ, බලාගාරයට අවශ්‍ය ඩීසල් තොග මේ වනවිට ලැබෙමින් ඇති බවය. ඒ අනුව බලාගාරයේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය. ඊයේ විදුලි නිෂ්පාදන කටයුතු ආරම්භ කළ කෙරවලපිටිය බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක් එක්කර තිබේ.