තෙල් සංස්ථාවේ පෙබරවාරි අලාභය රුපියල් බි.11 ක්...?

පෙබරවාරි මාසයේ තෙල් සංස්ථාවට රුපියල් බි.11 ක අලාභයක්... තෙල් සංස්ථාව

by Staff Writer . 16-02-2022 | 9:13 AM

COLOMBO (News 1st) – පවතින තත්ත්වය තුළ පෙබරවාරි මාසයේ අලාභය රුපියල් බිලියන 11 ක් පමණ වනු ඇතැයි, ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ දැමිමක් හෝ ඉන්ධන මත පනවා ඇති බදු සහනයක් ලබා දෙන්නැයි, මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි. පවතින තත්ත්වය යටතේ ඉන්ධන මිල මෙලෙස පවත්වාගෙන යාමෙන්, දැඩි අලාභයක් ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට දරා ගැනීමට සිදුව ඇතැයි, බලශක්ති අමාත්‍යාංශ සඳහන් කළේ ය. බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, ඩොලර් නොමැති වීමෙන් ඉදිරියේදී රටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම අර්බුදකාරි තත්ත්වයකට ලක්වනු ඇති බවයි. මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඉන්ධන මත පනවා ඇති බදු සඳහා සහනයක් හෝ ඉන්ධන මිලෙහි වැඩිවීමක් කඩිනමින් සිදු කරන්නැයි, ඛනිජ තෙල් නිතීගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. මේ අතර, ඉන්ධන පිරවුම්හල් ආශ්‍රීතව පවතින ඉන්ධන හිඟයට හේතු කවරේද...? අප කළ විමසීමේදී බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, අනවශ්‍ය තොග රැස්වීම් පිළිබඳ සොයා බලන්නැයි, ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට දැනුම් දී ඇති බවයි. ඊයේ දින ඩීසල්වල යම් හිඟයක් පැවතිය ද, අද දිනය තුළ එම තත්ත්වය පහව යනු ඇතැයිද අමාත්‍යාංශය සඳහන් කළේ ය.