COLOMBO (NEWS1ST): වසර 2200කට අධික ඓකිහාසික වටිනාකමකින් යුත් පුරාවිද්‍යාත්මක උරුමයන් රැසක් සොරකම් කළ පුවත මේ වනවිටත් මහත් ආන්දොලනයකට තුඩු දී තිබේ.
මේ සිදුවීම වාර්තා වුණේ රඹුක්කනෙන්...
රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරයේ තැන්පත් කර තිබියදි සොරකම් කරන ලද රන් කරඬු පහ සහ පළිඟු කරඬු තුන මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.
ඔහු පවසන්නේ එහි පවතින මූල්‍යමය වටිනාකමට වඩා මේ කරඬුවල ජාතික හා ආගමික වටිනාකම ඉතා ඉහළ බවයි.
ඒ ගැන සලකා බලා මෙම උරුමයන් නැවත භාර දෙන ලෙස පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා මේවා සොරාගත් පිරිසෙන් ආයාචනා කර සිටී.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, මෙය මිහිදු හිමියන් සහ සංඝමිත්තා තෙරණින් වහන්සේ හෝ ඒ හා සමාන කාලයකදී මෙරටට රැගෙන ආ ධාතු කරඩුවක් බවට විශ්වාස
කෙරෛන බවයි.
ශ්‍රී ලංකාවේ අපිට තිබුණ පැරණිතම ධාතු කරඩුව මේ විදිහට අපිට අහිමි වෙනවා. මෙය බොහෝ විට මිහිදු හාමුදුරුවෝ සහ සංඝමිත්තා තෙරණින් වහන්සේ හෝ ඒ හා සමාන කාලයකම ලංකාවට රැගෙන ආව ධාතු කරඩුවක් කියලා තමයි විශ්වාස කෙරුණේ බොහෝ දුරට
මෙම රන් කරඬු හා පළිඟු කරඬු 1956 සහ 2000 වසරේ දැලිවල කොටවෙහෙරේ කරන ලද කැණීම් වලදී සොයා ගන්නා ලද්දකි.
1956 දී සොයාගත් කරඬුව ඉන්දියාවේ සාංචි ස්තූපයේ ආකෘතියකට අනුව නිර්මාණය කර ඇති අතර, කාල නිර්ණවලදී එය ක්‍රිස්තු පූර්ව 250 ට පමණ අයත් වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැලිවල කොටවෙහෙර දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ කීර්ති තිස්ස නම් කුමරෙකු විසින් ඉදිකරන ලද බවට ඓතිහාසික ලේඛනවල සඳහන් ය.
එම ස්ථානයට මිහිදු මහරහතන් වහන්සේ වැඩම කර ඇතැයි සැලකෙන අතර, දකුණු ආසියාවේ සේද රෙදි පිළිබඳ පැරණිතම සාක්ෂි හමුවන්නේ ද මෙම ස්ථානයෙනි.
මේ අතර සොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා තිබේ.
සොරකම සම්බන්ධයෙන් තොරතුරු 071 859 14 19 යන දුරකතන අංකය ඔස්සේ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දිය හැකියි.
ධාතු මන්දිරයේ තිබු CCTV කැමරාව මාස 03 ක කාලයක සිට ක්‍රියා විරහිත වී ඇති බවත් විහාරස්ථානයේ අනෙකුත් CCTV කැමරා ද පවතින්නේ, අක්‍රිය තත්ත්වයෙන් බව පොලිසිය සඳහන් කළේ ය.
මේ අතර දායක සභාව පවසන්නේ 2003 වසරේ සිට විහාරස්ථානයේ ආරක්ෂිත සේප්පුවක තිබූ ඉන්දියාවේ සාංචි ස්තූපයේ ආකෘතියකට අනුව නිර්මාණය කළ කරඩුව මීට වසර දෙකහමාරකට පමණ පෙර වීදුරු කුටියක තැන්පත් කළ බවයි.
රඹුක්කන දැලිවල කොටවෙහෙර රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ඩී.ආර්. තිලකරත්න මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
''දායක සභාවේ සභාපති වශයෙන් අපි මේක සේප්පුවේ දාලා හරියට ආරක්ෂා කළා. නිදා ගත්තේ නැහැ, එතනම බුදිය ගත්තා අපි. එතරම් ආරක්ෂා කරපු වස්තුව තමයි මේක වුණේ. මේක වෙන්න හේතුව ප්‍රධාන එළිමහනට ගැනීමට තමයි''
කොටවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය පුස්සැල්ලේ අරියවංශ හිමියෝ ද මෙලෙස අදහස් පළ කළහ.
''මේ වෙලාවේ මම දකිනවා පරපෙ පුරාණ විහාරස්ථානයේ තිබුණ පැරණි පිළිම වහන්සේ මීට වසර එකහමාරකට පෙර සොරු පැහැරගෙන ගියා. විමර්ශන කටයුතු සිදු කළත් අදවත් ඒ පිළිම වහන්සේට සිදු වූයේ කුමක්ද යන්න අපිට දකින්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම දකියනවා අපේ මේ ඵෙතිහාසික පුරාවස්තු ටිකටත් ඒ කනකොකාම හඩයිද කියන බියක් මා තුළ තියනවා''
මේ අතර සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් කැඳවමින් පුරාවස්තු කොල්ලය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
එහි සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ, මෙවැනි ඵෙතිහාසික උරුමයන් දිගින් දිගටම නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වීම් පසුගිය සමයේ ද වාර්තා වූ බවයි.
''ඒ විතරක් නෙමෙයි ලංකාවේ පුරාවිද්‍යාවේ මුදුන්මල්කඩ ලෙස හැදින්වෙන කොළඹ ජාතික කෞතුකාගාරයේ ඒ පුරා විද්‍යා මංකොල්ලයට කාටද දඩුවම් කළේ. මේවායේ පිටිපස්සේ හිටියේ කවු ද. ප්‍රධාන දේශපාලඥයෝ කවුද. ඒවාට දඩුවම් සිද්ද කරන්නේ නැතුව. චෛත්‍යක් ආරමයක් වෙහෙර විහාරයක් හැදූ පමණින් මේක ආරක්ෂා වෙන්නේ නැහැ මහත්තයෝ. මේවා ආරක්ෂා වෙන්න නම් මේවාට අවශ්‍ය කරන වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුයි. ආරක්ෂාවක් සළසා දිය යුතුයි. පුරා විද්‍යා අධීක්ෂණයක් සළසා දිය යුතුයි''