පළමු T20 තරගයේ ජය ඉන්දියාවට

නවසීලන්තයට එරෙහි පළමු T20 තරගයේ ජය ඉන්දියාවට

by Staff writer 18-11-2021 | 10:24 AM

COLOMBO (News 1st) : නවසීලන්තයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 5කින් ජය ගත්තේ ය. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව දෙපිලම සහභාගී වූ පළමු තරගය මෙයයි.

මෙම තරගයේදී ඉන්දීය මෙන්ම නවසීලන්ත කණ්ඩායම් නව නායකත්වයක් යටතේ තරග කළේ ය. ජායිපූර්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාගේ අරාධනයෙන් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ ය. ඔවුන්ගේ ආරම්භක කඩුල්ල එක් ලකුණකදී බිඳ වැටීමෙන් අනතුරුව මාටින් ගප්ටිල් සමග එක් වූ මාක් චැප්මන් දෙවැනි කඩුල්ලට ලකුණු 109ක සබඳතාවක් ගොඩනැගුවේ ය. චැප්මන් පන්දු 50කින් ලකුණු 63කි. 4 පහර 6ක් සහ 6 පහර 2ක් ඊට ඇතුළත් ය. ග්ලෙන් පිලිප්ස් ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 42කින් ලකුණු 70 කි. 6 පහර 4කින් සහ 4 පහර 3කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. නායක ටිම් සවුති ඇතුළු නවසීලන්ත පිතිකරුවන් තිදෙනෙක්ටම කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වූයේ නැහැ. බුවනේෂ්වර් කුමාර් සහ රවිචන්ද්‍රන් අශ්වින් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 164 කි. නායක රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් ඉන්දීය කණ්ඩායමේ පිළිතුරු ඉනිම ආරම්භ කළේ ය. රාහුල් ලකුණු 15 කි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා පන්දු 36කින් ලකුණු 48 කි. 4 පහර 5ක් සහ 6 2ක් ඊට ඇතුළත් ය. සූර්යකුමාර් යාදෙව් පන්දු 40කින් 4 පහර 6ක් සහ 6 පහර 3ක්ද සමගින් ලකුණු 62ක් රැස් කළේ ය. . ට්‍රෙන්ට් බොව්ල්ට් කඩුලු 2 කි. තරගය අවසන් වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ඉන්දීය කණ්ඩායම නියමිත ඉලක්කය පසු කළේ ය. ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටින්නේ 1ට 0ක් ලෙසයි.