T20 ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට

20යි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට

by Staff Writer . 15-11-2021 | 9:48 AM

COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියාව පළමු වරට පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තේය.

ඒ, 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව ඩුබායිහිදී පැවති අවසන් මහා තරගය කඩුලු 08කින් ජය ගනිමිනි. මෙම තරගය ආරම්භ කිරීමට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල "ICC Hall of Fame" සම්මානය සඳහා නිර්දේශිත පිරිස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර හිටපු ශ්‍රී  ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, හිටපු දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක් සහ එංගලන්ත හිටපු ක්‍රීඩිකා ජනට් බ්‍රිටින් ප්‍රකාශිත නම් අතර විය . කාසියේ වාසියේ හිමි කරගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කෙරිණි. ඒ අනුව, තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 02 ලකුණු 76කදී බිඳ වැටුණි. නායක කේන් විලියම්සන් පන්දු 32කින් අර්ධ ශතකය ලබා ගත්තේ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගයකදී ක්‍රීඩකයෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාවද තමන් සතු කර ගනිමිනි . විලියම්සන් 48කින් ලකුණු 85ක් රැස් කළ අතර ඊට 4 පහර 10ක් සහ 6 පහර 3ක් ඇතුළත් විය . නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කළේය . පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සමග ස්ථාවර වූ මිචෙල් මාෂ් දෙවැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් ගොඩනැගුවේය . වෝනර් පන්දු 38 කින් ලකුණු 53යි. වේගවත් පිතිහරඹයක නිතර වූ මිචෙල් මාෂ් පන්දු 31කින් ලකුණු 50 සීමාව පසු කළේ නවසීලන්ත නායක කේන් විලියම්සන් පිහිටුවූ 20යි 20 වාර්තාව තම නම ඉදිරියේ සටහන් කරමිනි. මාෂ් සමග එක් වු ග්ලෙන් මැක්ස්වෙල් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය . මාෂ් නොදැවී ලකුණු 77යි. තරගය අවසන් වීමට පන්දු 07ක් ඉතිරිව තිබියදී කඩුලු 2ක් දැවී ඔස්ට්‍රේලියාව නියමිත ඉලක්කය පසු කළේය . තරගයේ වීරයා මිචෙල් මාෂ්. තරගාවලියේ වීරයා ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්.