ලංකාව පරාජය කළ ඔස්ට්‍රේලියාව‌ට කඩුලු 07ක ජයක්..

ශ්‍රී ලංකාව පරාජය කළ ඔස්ට්‍රේලියාව‌ට කඩුලු 07ක ජයක්..

by Staff writer 29-10-2021 | 7:02 AM

COLOMBO (NEWS1ST) : පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය, ඔස්ට්‍රේලියාව කඩුලු 07 කින් ජය ගත්තේ ය.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවසුවේ, ශ්‍රී ලංකා පිතිකරුවන් තවත් ලකුණු 20 ක් පමණ රැස් කර තිබුණේ නම්, ඔස්ට්‍රේලියා කණ්ඩායමට අභියෝගයක් ලබා දීමට තිබූ බවය. ඩුබායිහි පැවැති මෙම තරගයේ, කාසියේ වාසිය හිමි කරගත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සමගින් කුසල් ජනිත් පෙරේරා ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 15 කි. පැතුම් නිස්සංක ලකුණු 7 කට දැවී ගියේ ය. චරිත් අසලංක ලකුණු 35 ක් රැස් කළේ ය. කුසල් ජනිත පෙරේරා ලකුණු 35 යි. නායක දසුන් ශානක ලකුණු 12 ක් රැස් කළේ ය. භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 33 ක් රැස් කළ අතර චාමික කරුණාරත්න නොදැවී ලකුණු 9 කි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 154 ක් රැස් කළේ ය. ඔස්ට්‍රේලියා පිළිතුරු ඉනිම ආරම්භ කළේ ඩේවිඩ් වෝනර් සමගින් නායක ඒරන් ෆින්ච් ය. නායක ඒරන් ෆින්ච් ලකුණු 37 කි. ඩේවිඩ් වෝනර් ලකුණු 65 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුළු 2 ක් දවා ගත්තේ ය. ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය කළේ ය.