මාව ආදර්ශයට අරගෙන නොනැවතී ඉදිරියට යන්න

මාව ආදර්ශයට අරගෙන නොනැවතී ඉදිරියට යන්න - සමිත දුලාන්

by Staff writer 10-09-2021 | 3:57 PM

COLOMBO (News 1st) - තමා ආදර්ශයට ගෙන නොනැවතී ඉදිරියට ගමන් කරන ලෙස පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් පවසයි.

සමිත දුලාන් පසුගියදා ජපානයේ ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ය. ඔහු තරග කළේ, දණහිසට පහළින් එක් පාදයක් අහිමි හෝ ඊට සමාන ආබාධිත ක්‍රීඩකයින් ඇතුළත් එෆ් 64 හෙල්ල විසි කිරීම පිරිමි  ඉසව්වෙනි. යළි මව්බිමට පැමිණීමෙන් අනතුරුව සමිත ඊයේ(09) දිනයේදී සිය ගම් ප්‍රදේශය වන කළුතරට පැමිණියේ ය. එම අවස්ථාවට ඔහුගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් ද සහභාගී විය. ජාතික විසි කිරීමේ පුහුණුකරු, ප්‍රදීප් නිශාන්ත මහතා,
දුලාන් ක්‍රීඩකයා 2009 ඉඳන් තමයි මගේ ළඟ පුහුණු කරේ. ඉන්පසුව ඔහු වොලන්ටි මීට් එකේ වාර්තාවක් තබනවා. ඉන් අනතුරුව තමයි ඔහු ආබාධයකට ලක් වෙන්නේ රිය අනතුරකින්. ඉන් පසුව අවුරුදු දෙකක් ඔහු ආමි හොස්පිටල් එකේ ඉඳලා තමයි නැවත සුව වෙලා එයා පැරා ක්‍රීඩකයෙක් වශයෙන් මේ තත්ත්වයට අද ගෙනල්ලා වසර හතරක කාලයක් විතර ක්‍රීඩා පුහුණුවීම් කටයුතු කරලා තමයි ඔහු අද මේ තත්ත්වයට ගේන්නේ. ඔහු රිදී පදක්කමේ තමයි හිටියේ. අන්තිම මොහොතෙදී ඔස්ට්‍රේලියා ක්‍රීඩකයා ඉදිරියට යනවා. ඒ හින්දා තමයි ඔහුට ලෝකඩ පදක්කම හිමි වෙන්නේ. ලබන අවුරුද්දේ පැවත්වෙනවා ලෝක පැරා ශූරතාවලිය. ඒක සහ ආසියානු ශූරතාවලිය තමයි ඊළඟ අපේ ටාගට් එක.
පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී, සමිත දුලාන්,
මම මෙච්චර දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඇත්තටම මට ගොඩාක් සතුටුයි. අනිවාර්යයෙන්ම 2024 ඔලිම්පික් තරගයෙන් අනිවාර්යයෙන්ම රන් පදක්කම ගෙන ඒම තමයි මගේ බලාපොරොත්තුව. මම රිය අනතුරකට ලක් වෙලා තමයි මගේ කකුල ඩැමේජ් වෙන්නේ. මං එතනින් අතහැරියේ නෑ ක්‍රීඩාව. මගේ බිරිඳ මාව ගොඩාක්ම ධෛර්යමත් කළේ. ඒ වගේම මගේ අම්මා තාත්තා. ක්‍රීඩකයින්ට කියන්න තියෙන්නේ මාව ආදර්ශයට අරගෙන මං වගේ නොනැවතී ඉදිරියට යන්න කියලා.