රන්ජන්ට ජනපති සමාව ඉල්ලා සජිත්ගෙන් ජනපතිට ලිපියක්

රන්ජන්ට ජනපති සමාව ඉල්ලා විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්..

by Staff writer 01-09-2021 | 12:48 PM

COLOMBO (News 1st):  සිර දඬුවම් විදින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක් කඩිනමින් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ය. රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා දැනුවත් කළ බව පවසන විපක්ෂ නායකවරයා එම සෑම අවස්ථාවකදිම ලද යහපත් ප්‍රතිචාර පිළිබඳව සිය ලිපිය මගින් සිහිපත් කරයි. රන්ජන් රාමනායක මහතාගේ නිදහස සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි, පක්ෂ පාට භේදයකින් තොරව ආගමික නායකයින් , කලාකරුවන්, නීති විශාරදයින්, සිවිල් පුරවැසියන් වැනි විශාල පිරිසක් ඉල්ලීම් කළ අතර එවැනි ඉල්ලීම් ජනාධිපතිවරයාට ද යොමු කර ඇති බව විපක්ෂ නායකවරයා මෙම ලිපියෙන් අවධාරණය කළේය. ජනතාවාදී කලාකරුවෙකු ලෙසත්, ජනප්‍රිය දේශපාලනඥයකු ලෙස අවස්ථා රැසකදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ රන්ජන් රාමනායක මහතා දේශපාලනයෙන් හෝ වෙනයම් මගකින් අයථා කටයුතුවලට හෝ දූෂණවලට සම්බන්ධ නොමැති බව සැවොම දන්නා කරුණක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් පවසා තිබේ.