by Staff writer 26-08-2021 | 10:05 PM
COLOMBO (News 1st) - පදක්කම් බලාපොරොත්තු සමගින් හෙට (27) ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු 2020 පැරලිම්පික් තරග බිමට පිවිසීමට නියමිතය.
මහේෂ් ජයකොඩි ඔරු පැදීම ක්‍රීඩා ඉසව්වෙන් හෙට පැරාලිම්පික් තරග බිමට පිවිසීමට සූදානම් වේ.
ඔහු සහභාගීවන කේවල මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් උදෑසන 7.00 ට ආරම්භ වීමට නියමිතය.
මහේෂ් ජයකොඩි 2019 ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේ රිදී පදක්කම දිනා ගත් ක්‍රීඩකයා වීම විශේෂත්වයකි.
රෝද පුටු ටෙනිස් කේවල අංශයෙන් මූලික වටයේ තරගයක් සඳහා සුරේෂ් ධර්මසේන තරග බිමට පිවිසීමට නියමිතය.
එම තරගය උදෑසන 7.30 ආරම්භ වීමට නියමිත අතර ඔහු චිලී රාජ්‍යයේ ඇලෙක්සැන්ඩර් කටල්ඩෝ සමගින් තරග වැදීමට නියමිතය.
සුරේෂ් 2017 වසරේ මැලේසියා විවෘත පැරා ටෙනිස් තරගාවලියේදී සහ 2018 වසරේ තායිලන්ත ජාත්‍යන්තර පැරා ටෙනිස් තරගාවලියන්හී රන් පදක්කම් දිනාගෙන තිබේ.
මේ අතර දුනු විදීම ක්‍රීඩා ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්පත් බණ්ඩාර හෙට තරග බිමට පිවිසීමට නියමිතය.
ඔහු සහභාගීවන මූලික වටයේ තරගය උදෑසන 10.30ට ආරම්භ වේ.
සම්පත් බණ්ඩාර 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ අතර 2019 වසරේ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා තායිලන්තයේ පැවති තරගාවලියකදී රන් පදක්කම දිනා ගත්තේ ය.