වනිඳු සහ දුෂ්මන්තට IPL වරම්..  

වනිඳු සහ දුෂ්මන්තට IPL වරම්..  

by Staff writer 21-08-2021 | 10:22 PM

COLOMBO (NEWS1ST) :  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර 2021 IPL ක්‍රිකට් තරගාවලියට එක්වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට තෝරාගෙන තිබේ.

ඒ, එක්සත් අරාබි එමීර්හී සත්කාරකත්වයෙන් පැවැත්වෙන දෙවැනි අදියර සඳහා ය. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ඇඩම් සැම්පා වෙනුවට වනිඳු හසරංග කැඳවූ බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙයි. පන්දුවාර 20යි 20 පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ වනිඳු හසරංගයි. මේ අතර දුෂ්මන්ත චමීර කැඳවා ඇත්තේ, ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ඩැනියෙල් සෑම්ස් වෙනුවටයි. ඔහු ICC පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්හි 20 වැනි ස්ථානයේ පසු වේ. 2021 IPL ක්‍රිකට් තරගාවලියේ තරග 29ක් ඉන්දියාවේදී පැවැති අතර කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය කල් දැමීමට සිදු විය. ඒ අනුව එහි දෙවැනි අදියර ලබන මස 19 වැනිදා එක්සත් අරාබි එමීර්හිදී ආරම්භ කිරීමට නියමිතය. සහභාගී වූ තරග 7න් තරග 5ක් ජය ගත් විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මේ වනවිට තරගාවලියේ ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටී.