ඔරු පැදීමේ ශූර මහේෂ්ගේ ඔලිම්පික් බලාපොරොත්තුව

මගේ එකම බලාපොරොත්තුව පැරාලිම්පික් මෙඩල් එකක් - ඔරු පැදීමේ ශූර මහේෂ් ජයකොඩි

by Staff writer 12-08-2021 | 4:01 PM

COLOMBO (News 1st) – 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා ගැනීම තම අපේක්ෂාව බව ඔරු පැදීමේ ශූර මහේෂ් ජයකොඩි පවසයි.

2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩක පිරිසට ඔරු පැදීමේ ශූර මහේෂ් ජයකොඩි ද ඇතුළත් වේ. ඔහු එම අවස්ථාව හිමිකර ගත්තේ, ජපානයේ පැවැති ආසියානු සහ ඕෂනියා කලාප ඔරු පැදීමේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගනිමිනි. නුහුරු නුපුරුදු ඔරු පැදීමේ ක්‍රීඩාවට තමන් යොමු කළ ලසන්ත වැලිකල මහතා යටතේ මහේෂ් පුහුණුවීම් කටයුතු සිදු කරනු ඇත. ශ්‍රී ලංකා ආබාධිත ඔරු පැදීමේ කණ්ඩායමේ පුහුණුකරු, ලසන්ත වැලිකල ජයකොඩිව හම්බ වු‍ණේ 2014 දී. මං ඔහුව රැගෙන ගියා චීනයේ ට්‍රේනිං කෑම්ප් එකකට මාස තුනක. එතෙනදි තමා එයා පළවෙනි පාරට බෝට්ටුවකට නැග්ගේ. ඊට පස්සේ ආසියානු තරග දැනට දෙකකට අපි සහභාගී වෙලා තියෙනවා. එයා ඩිරෙක්ට් ස්ලොට් එකක් හිමිකර ගත්තා ඔලිම්පික්වල. ඉතාම දක්ෂ, ප්‍රශංසා කළ හැකි ක්‍රීඩකයෙක් ඔහු. මට ලොකු විශ්වාසයක් තියෙනවා, ඔහු අනිවාර්යයෙන්ම ෆයිනල් එකට, පළවෙනි හය දෙනා අතරට එනවා. ඒ වගේම පදක්කමක් ලබා ගැනීමේ බලාපොරොත්තුවකින් මම ඉන්නේ. උපතින්ම ආබාධිත පුද්ගලයෙකු නොවූව ද මීට වසර 12කට පෙර සිදු වූ අනතුරක් මහේෂ්ගේ ජීවිතය වෙනතකට යොමු විය. තමන්ට එල්ල වූ අභියෝගය ජය ගැනීමට ඔහු තෝරා ගත්තේ ක්‍රීඩාවයි.
ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ ඔරු පැදීමේ ක්‍රීඩක, මහේෂ් ජයකොඩි, 2009 මානුෂික මෙහෙයුමට සහභාගී වෙලා මට වෙඩි වැදිලා අවුරුදු 4ක විතර කාලයක් ප්‍රතිකාර ලැබුවා. මම ක්‍රීඩාවට යොමු වුණේ රෝද පුටු මැරතන්වලින්. 2015 ආබාධිත වූවන්ගේ ඔරු පැදීම සඳහා චීනයේ පුහුණුවකට ගියා. 2021 පැරාලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගී වුණා. මං එතෙනදි ප්‍රථම ස්ථානය ලබාගෙන පැරාලිම්පික් සුදුසුකම් ලැබුවා. පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා මේ දවස්වල සාර්ථකව පුහුණුවීම්වල නිරත වෙනවා. මට හොඳ තරගයක් තියෙනවා. තරගයක් නැතුව නෙවෙයි. මගේ එකම බලාපොරොත්තුව තමා ශ්‍රී ලංකාවට පැරාලිම්පික් මෙඩල් එකක් ගේන්න.