ඔස්ට්‍රේලියාවට එරෙහි T20 තරගාවලි⁣යේ ජය බංග්ලාදේශයට

ඔස්ට්‍රේලියාවට එරෙහි T20 තරගාවලිය බංග්ලාදේශය 4-1කින් ජය ගනී..

by Staff writer 10-08-2021 | 2:07 PM

COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සත්කාරක බංග්ලාදේශය ජය ගත්තේ ය .

තරගාවලියේ අවසන් තරගය ඔවුන් ජය ගත්තේ ලකුණු 60 කින් ය. ඩකාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 122ක් රැස් කළේ ය. මෙහෙදි හසන් සහ මොහොමඩ් නයිම් අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 42කි. හසන් ලකුණු 13 කි. මොහොමඩ් නයිම් ලකුණු 23ක් රැස් කළේ ය. ශකීබ් අල් හසන් ලකුණු 11 කි. නායක මොහොමඩ් මහමුදුල්ලා ලකුණු 19ක් රැස් කළේ ය. නේදන් එලීස් සහ ඩෑන් ක්‍රිස්ටියන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පිතිකරුවන්ට සාර්ථක වීමට ශකීබ් අල් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒ අනුව පිතිකරුවන් 9 දෙනෙකුම ලකුණු 5 සීමාව පසු කිරීමට පෙර දැවී ගියේ ය. නායක මැතිව් වේඩ් ලකුණු 22 කි. බෙන් මැක්ඩර්මොට් ලකුණු 17ක් රැස් කළේ ය. ශකීබ් අල් හසන් ලකුණු 9ට කඩුලු 4යි. මොහොමඩ් සයිෆුඩීන් කඩුලු 3ක් දවා ගත්තේ ය. පන්දුවාර 13යි පන්දු 4ක් අවසානයේදී ඔස්ට්‍රේලියාවේ සියලු දෙනා ලකුනු 62කට දැවී ගියේ ය. ඒ අනුව තරග 5කින් සමන්විත තරගාවලිය සත්කාරක බංග්ලාදේශය ජය ගත්තේ තරග 4ට 1ක් ලෙසය.