2032 ඔලිම්පික් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී..

2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේදී

by Staff writer 21-07-2021 | 4:55 PM

COLOMBO (NEWS1ST) : 2032 ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙලේ සත්කාරත්වය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයට අද නිල වශයෙන් ප්‍රදානය කෙරිණ.

ඒ ජපානයේ ටෝකියෝ නුවර පැවැති අන්තර් ජාතික ඔලිම්පික් කමිටු 138 වැනි සැසිවාරයේදීයි. අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හඳුන්වා දුන් නව ලංසු ආකෘතියට අනුව බ්‍රිස්බේන් නගරයට එම අවස්ථාව නිතරගයෙන් හිමි වු බව විදෙස් වාර්තාවල සඳහන් වේ. එම නව ආකෘතිය යටතේ ලංසු ඉදිරිපත් කළ යුත්තේ, ප්‍රචාරක වියදම් කපා හැරීම, අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට පාලනයේ වැඩි බලයක් ලබා දීම සහ ඡන්ද මිලට ගැනීමේ අවස්ථා අවම වන ලෙසයි. 2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය සඳහා කටාර්, ජර්මනිය සහ හංගේරියාව ඇතුළු රටවල් කිහිපයක් ඉදිරිපත් වීමට උත්සාහ කළ ද ඉහත ආකෘතියට අනුකූල නොවීම හේතුවෙන් ඔවුන්ට එම අවස්ථාව අහිමි විය. අදාළ ආකෘතිය සපුරා ඇති බ්‍රිස්බේන් නගරයට එම අවස්ථාව ලබා දෙන බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව පසුගිය පෙබරවාරි මාසයේදී පැවසී ය. මීට පෙර 2000 වසරේ සිඩ්නි නුවරදී සහ 1956 වසරේ මෙල්බර්න් නුවරදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා ඇති අතර ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් පැවැත්වෙන තුන්වන අවස්ථාව මෙය වනු ඇති.