ICC ප්‍රධාන විධායක නිලධාරියා තනතුරින් ඉවතට

ICC ප්‍රධාන විධායක නිලධාරී මනු ස්වෝනි තනතුරින් ඉවතට

by Staff writer 10-07-2021 | 12:07 PM

COLOMBO (News 1st) – තම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මනු ස්වෝනි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරේ කටයුතුවලින් නිදහස් කළ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ආයතනය මෙම තීරණයට එළැඹ ඇත්තේ එහි පරිපාලන මණ්ඩල සාමාජිකයන් සහභාගී වූ හදිසි රැස්වීමකින් අනතුරුවයි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සේවක සේවිකාවන්ට පීඩාකාරී ලෙස සැලකීම නිසා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට බලපෑම් එල්ල කළ බවට එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි මනු ස්වෝනි මහතාට එරෙහිව චෝදනා එල්ල විය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල පරිපාලන මණ්ඩලයේ මතය නොවිමසා කටයුතු කිරීම සහ කාර්යාලයේදී කලහකාරී ලෙස හැසිරීම, ඔහුට එරෙහිව එල්ල වූ අනෙකුත් චෝදනා යි. ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී මනු ස්වෝනි මහතාගේ සේවා කටයුතු අත්හිටවූ අතර ජූනි 17 වැනිදා ACC විනය කමිටුව ඉදිරියේ කරුණු විමසා බැලීමක් සිදු කළේ ය. එහිදී ඔහු පැවසුවේ තමන්ට විරුද්ධව කුමන්ත්‍රණයක් පවතින අතර, ඒ හේතුවෙන් තම ආදායම් මාර්ග සහ කීර්තිනාමයට හානියක් සිදු විය හැකි බවයි. කිසියම් අයුරකින් තමන්ට එරෙහි චෝදනාවලට වරදකරු වුවහොත්, ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවට මනු ස්වෝනි මහතා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල අධ්‍යක්ෂ මණ්ඩලයට පවසා තිබේ. එම ආයතන ව්‍යවස්ථාවට අනුව කිසියම් චෝදනාවකට යම් අයෙකු වරදකරු වුවහොත් දින 5ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කළ යුතුයි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරි තනතුරේ වැඩ බැලීම ජෙෆ් ඇලර්ඩිස් සිදු කරනු ඇතැයි එම ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.