විනය කැඩූ ක්‍රීඩකයින් වහාම මෙරටට කැඳවීමට පියවර

එංගලන්තයේදී විනය විරෝධීව හැසිරුණු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා වහාම මෙරටට කැඳවීමට පියවර - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

by Staff writer 28-06-2021 | 11:03 PM

COLOMBO (News 1st) - ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

එංගලන්ත සංචාරය අතරතුර ක්‍රීඩකයින් තුන් දෙනෙක් ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට පැමිණ වීදියක අසුන්ගෙන සිටින ආකාරය සහ ඇවිද යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය විය. අදාළ සිදුවීම පිළිබඳව කණ්ඩායමේ කළමනාකාරවරයාගෙන් වාර්තාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනා වරද පිළිගෙන ඇති බවය. ඒ අනුව ඔවුන්ට එරෙහිව සිදු කරන පරීක්ෂණ අවසන් වනතෙක් තරග තහනමක් පැනවෙන අතර වහාම මෙරටට කැඳවීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. අදාළ පරීක්ෂණයෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එහි වැඩිදුරටත් දැක්වේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සිදු කළ මූල්‍ය අක්‍රමිකතා සහ අවිධිමත් මූල්‍ය ක්‍රියා පටිපාටීන් රැසක් පිළිබඳව පසුගිය කාලය පුරාවට වාර්තා විය. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයෙන් සහ ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳ වූ අවස්ථාවේදීය. ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් පියවර ගන්නවා මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිදු වූ බරපතල මූල්‍ය අක්‍රමිකතා සහ අවිධිමත් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව බලධාරීන් පියවර ගන්නේ කවදා ද?