ප්‍රථම වරට CID නි. අධ්‍යක්ෂ තනතුරට නිලධාරිනියක්

ප්‍රථම වරට CID නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට කාන්තා නිලධාරිනියක්...

by Sagarika Chathumali 11-06-2021 | 6:23 PM

COLOMBO (NEWS1ST) :  පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට කාන්තා නිලධාරිනියක පත් කර තිබේ.

එලෙස පත්වීම් ලැබ ඇත්තේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියයි. ඉමේෂා මුතුමාල මහත්මිය නුගේගොඩ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් නිෂ්කාශන වාර්තා ඒකකයේ ද රාජකාරි කර තිබේ. ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස 2007 වසරේදී පොලිස් සේවයට එක්ව ඇති ඉමේෂා මුතුමාල, මේ වනවිට වසර 14 ක සේවා කාලයක් සහිත නිලධාරිනියකි. රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී (B.Sc) උපාධිධාරිනියක වන ඇය විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ද ලබා ගෙන ඇත. නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට පත්වීම් ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය විදෙස් රටවල් කිහිපයකදි විවිධ පාඨමාලාවන් රැසක් ද හදාරා තිබේ. ⭕අමෙරිකාවේ හවායි පොලිස් අභ්‍යාස ආයතනයෙන් අර්බූද කළමනාකරණ පාඨමාලාව ⭕තායිලන්තයේ බැංකොක් නුවරදී FBI ආයතනය මගින් පවත්වන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පාඨමාලාව ⭕මැලේසියාවේ රාජකීය පොලිස් ඇකඩමියේදී ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාව ⭕ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිස් ඇකඩමියේදී ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාව ⭕ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිස් ඇකඩමියේදී අන්තර්ජාල අපරාධ පිළිබඳ පාඨමාලාව පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි මෙම පත් කිරිම සිදු කර ඇති බවයි.