by Staff writer 07-06-2021 | 3:13 PM
News 1st - එංගලන්ත - නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
මේ අතර එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබේ.
ලෝඩ්ස්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 378ක් රැස් කළේ ය.
සිය මංගල ටෙස්ට් තරගයට එක් වූ ඩෙවෝන් කෝන්වේ වාර්තා අතරට එක් වූයේ මංගල ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව 7 වැනි ක්‍රීඩකයා සහ නවසීලන්තය වෙනුවෙන් එම දක්ෂතාව ප්‍රදර්ශනය කළ 2 වැනි ක්‍රීඩකයා ලෙසය.
ඔලී රොබින්සන් ලකුණු 75ට කඩුලු 4ක් දවා ගත්තේ ය.
පිළිතුරු ලෙස සත්කාරක එංගලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව 275කි.
ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් ලකුණු 132 යි.
ටිම් සවුති ලකුණු 43ට කඩුලු 6ක් දවා ගත්තේ ය.
කඩුලු 6ක් දැවී ලකුණු 169ක් රැස් කරගෙන සිටියදී නවසීලන්ත දෙවැනි ඉනිම අත්හිටු වූ අතර ලකුණු 273ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 170ක් රැස් කරගෙන සිටියේ ය.
ඒ අනුව තරගය අවසන් වූයේ, ජය පරාජයෙන් තොරවයි.
තරගයේ වීරයා නවසීලන්තයේ ඩෙවෝන් කෝන්වේ.
මේ අතර 2012 සහ 2013 වසරවලදී ඔලී රොබින්සන් නිකුත් කළ මතභේදාත්මක ට්විටර් පණිවුඩ හේතුවෙන් ඔහුට එරෙහිව ජාත්‍යන්තර තරග තහනමක් පැන වූ බවට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි වැඩි දුරටත් දැක්වෙන්නේ, ඔහු පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.