ප්‍රවීන් ජයවික්‍රමගෙන් වාර්තාගත පන්දු යැවීමක්

කෝඩුකාර ප්‍රවීන්ගෙන් කඩුලු 6ක්: බංග්ලාදේශ ඉනිම කඩා වැටෙයි

by Staff writer 01-05-2021 | 7:36 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද තුන්වැනි දිනටත් පැවැත්විය.

අද තරගය නතර කරන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 17කි. පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව අද දිනය ආරම්භ කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 469ක් රැස් කරගෙන සිටියේය. 07වැනි කඩුල්ල ලෙස රමේෂ් මෙන්ඩිස් ලකුණු 33 කට පිටියෙන් ඉවත් විය. කඩුලු 7ක් දැවී ලකුණු 493ක් රැස් කරගත් පසු නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ, ශ්‍රී ලංකා පළමු ඉනිම අත්හිටුවීමටයි. අනතුරුව ටමීම් ඉක්බාල් සහ සයිෆ් හසන් බංග්ලාදේශයයේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 98ක සබඳතාවක් ගොඩ නැගුවේ ය. ඉක්බාල් අද වාර්තා කළේ, 31 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. ඔහු ලකුණු 92ක් රැස් කළේ, හතරේ පහර 12ක් ද සමගින් ය. සිය මංගල ටෙස්ට් තරගයට එක්වන 22 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92 ට කඩුලු 6 ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයකි. එය මෙරට පන්දු යවන්නෙක් තම මංගල ටෙස්ට් ඉනිමේදී වාර්තා කළ හොඳම පන්දු යැවීමයි. බංග්ලාදේශ පළමු ඉනිමේ සියලු දෙනා ලකුණු 251කට අද දැවී ගියේ ය. දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 15 කදීය.