by Staff writer 30-12-2020 | 7:19 AM
COLOMBO (News 1st) - සේනා දළඹු හානියෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති ගොවීන් සඳහා වන්දි ලබා දීමට තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, කේෂත්ර නිලධාරීන්ගේ නිර්දේශ මත පදනම්ව අදාළ වන්දි ලබා දෙන බවයි.
එහෙත් වන්දි ලබා දිය යුතු මට්ටම දක්වා කිසිදු ප්‍රදේශයක වගාවකට සේනා දළඹු හානිය සිදුව නොමැති බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ, මෙරට බඩ ඉරිඟු වගාවෙන් සියයට 5 ක් වැනි සුළු භූමි ප්‍රමාණයක වගාවට පමණක් දැනට හානි සිදුව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසීමකදී එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය එම්.ඩබ්ලිව්.එම්. වීරකෝන් මහතා පැවසුවේ, අම්පාර සහ මොණරාගල ප්‍රදේශවලින් මේ වනවිට සේනා දළඹු හානිය පිළිබඳ වාර්තා වන බවයි.
වැඩි වශයෙන් හානි පවතින වගාවන් සඳහා රාසායනික කෘමිනාශක යෙදීමට මේ වනවිට පියවර ගෙන ඇතැයි ද, ඔහු පැවසුවේය.
අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, බඩ ඉරිඟු පත්‍ර ආශ්‍රිතව සේනා දළඹු උවදුර පැවතිය ද, අස්වනු හානිය අවම මට්ටමක පවතින බවයි.