දිල්ලි කැපිටල්ස්  IPL අවසන් මහා තරගයට...

දිල්ලි කැපිටල්ස් IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

by Staff writer 09-11-2020 | 1:50 PM

News 1st - දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ.

ඒ, මෙවර තරගාවලියේ අවසන් වටයේ තුන් වැනි තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 17 කින් පරාජය කරමිනි. අබුඩාබිහි පැවැති මෙම තරගයේ කාසියේ වාසියේ හිමි කරගෙන පමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 189 ක් රැස් කර තිබේ. ශිකර් දවාන් සහ මාර්කස් ස්ටොයිනිස් පළමු කඩුල්ලට ලකුණු 86 ක සබඳතාවයක් ගොඩ නැගුවේ ය. ස්ටොයිනිස් ලකුණු 38 කට දැවී ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශිකර් ධවාන් ලකුණු සංඛ්‍යාව 78 ක් රැස් කළේ ය. ශිම්රෝන හෙට්මයර් ලකුණු 42 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා, ජේසන් හෝල්ඩර් සහ රෂීඩ් ඛාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගොස් තිබේ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් ක්‍රීඩකයින්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 172 ක් පමණි. නායක ඩේවිඩ් වෝනර් ලකුණු 2 කට දැවී ගියේ ය. කේන් විලියම්සන් ලකුණු 67 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා ලකුණු 29 කට කඩුලු 4 ක් සහ මර්කස් ස්ටොයිනිස් ලකුණු 26 කට කඩුලු 3ක් බිඳ හෙලුවේ ය. ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ඩුබායිහීදී පැවැත්වීමට නියමිතය.