සනත් ජයසූරියට ICCයෙන් පැනවූ සම්බාධක කාලය අවසන්..

සනත් ජයසූරියට ICCයෙන් පැනවූ සම්බාධක කාලය අවසන්..

by Chathuranga Rajapaksha 03-11-2020 | 3:37 PM
COLOMBO (News 1st): අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සනත් ජයසූරියට පනවා තිබූ සම්බාධක කාලය ඉකුත් වීම හේතුවෙන් ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ක්‍රියා කළ හැකි බව ICC ය දන්වා ඇති බවට වාර්තා වේ. ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද ඒ බව තහවුරු කළේ ය. සනත් ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, තමන්ට පනවා තිබූ සම්බාධක කාලය ඉකුත් වූ බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ එහි දූෂණ මර්දන ඒකකය දැනුම් දුන් බවයි. තමන්ට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට අවස්ථාව හිමිවීම පිළිබඳව සතුටට පත්වන බව ද ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඔහු අවධාරණය කරන්නේ, තමන් සැම විටම ක්‍රිකට් ක්‍රීඩාවේදී තම අවංකභාවය පවත්වා ගනිමින් කටයුතු කළ බවයි. සැම විටම රට වෙනුවෙන් කැප වූ බවත්, ඒ පිළිබඳව ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලන්ම මැනවින් දන්නා බවත් ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එහි දැක්වෙන්නේ අසීරු අවස්ථාවේදී තමන්ට ශක්තියක් වූ‍ ක්‍රීඩාලෝලීන්ට සහ සියලු ලක් වැසියන්ට ස්තූතිවන්ත වන බවයි. එමෙන්ම මේ අවස්ථාවේදී සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට, එහි දූෂණ මර්දන ඒකකයට, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතිඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන් යන මහත්වරුන්ට ඔහු සිය ස්තූතිය පළ කරයි. ක්‍රිකට් වාර්තා රැසකට හිමිකම් කියන සනත් ජයසූරිය මහතා ටෙස්ට් තරග 110කදී ශතක 14ක් සහ අර්ධ ශතක 31ක් ද සමගින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 6973කි. මෙරට වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන් අතර ඔහු තුන්වැනි ස්ථානයේ පසු වේ. එක්දින ජාත්‍යන්තර තරග 445කදී ශතක 28ක් සහ අර්ධ ශතක 68ක් ද සහිතව ඔහු ලකුණු 13430ක් රැස් කර ඇති අතර, එක්දින පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන් අතර ඔහු රැඳී සිටින්නේ දෙවැනි ස්ථානයේයි. මීට වසර 20කට පෙර ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් රැස් කරමින්, එක්දින ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලංකා පිතිකරු ලෙස ඔහු තැබූ වාර්තාව බිඳ දැමීමට තවමත් කිසිවෙකු සමත්ව නොමැත.