CIDයට නව අධ්‍යක්ෂවරයෙක් 

CIDයට නව අධ්‍යක්ෂවරයෙක්: ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට මාරුවීම්

by Staff writer 17-10-2020 | 8:05 AM

COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, එහි අධ්‍යක්ෂ ධුරය දැරූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ආර්.පී.ජේ. ද අල්විස් මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි. මීට අමතරව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ජී.එන්.ඩබ්ලිව්.ඩී තල්දූව මහතා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර් .ඒ . ඩී කුමාරි මහත්මිය ස්ථාන මාරු කර ඇත්තේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරිය ලෙසය. සහකාර පොලිස් අධිකාරී එච්.කේ.ආර් ප්‍රනාන්දු මහතා විශේෂ කාර්ය බලකායේ සිට රාජ්‍ය බුද්ධි සේවාවට ස්ථාන මාරු කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජි. ඒ. කේ පියසේකර මහතා සංචාරක කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු හා සහකාර පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති බවයි. ඒ අතර වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒ.ආර්.එන් රාජපක්ෂ මහතා ද වේ. ඔහු ජනාධිපති කාර්යාලයේ විශේෂ කාර්ය හා පාරිසරිස කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ. මේ අතර නියෝජ්‍ය පොලිස්පති එම්.එන් සිසිර කුමාර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ. මීට අමතරව නියෝජ්‍ය පොලිස්පති එල්.පි.එස්.පී සඳුන්ගහවත්ත මහතා සංචාරක දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඩී.ආර්.එස්.ආර් නාගහමුල්ල මහතා රත්නපුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් ස්ථාන මාරු කර තිබේ. ස්ථාන මාරු කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සංඛ්‍යාව 5 කි. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 18 දෙනෙකු ද සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු කර ඇති බවයි.

ස්ථාන මාරුවිම් පිළිබඳ සම්පූර්ණ විස්තරය..