20 ගැන කතෝලික රදගුරු සම්මේලනයේ මතය

20 ඉදිරියට ගෙන යා යුතු නැතැයි, කතෝලික රදගුරු සම්මේලනය කියයි

by Staff writer 13-10-2020 | 3:14 PM
COLOMBO (News 1st) : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යා යුතු නැතැයි කතෝලික රදගුරු සම්මේලනය පවසයි. අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය අවධාරණය කළේ, ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මේ මොහොතේ ජාතික ප්‍රමුඛතාව විය යුතු බවයි. 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ කතෝලික රදගුරු සම්මේලනයේ අදහස, යන තේමාවෙන් එම සම්මේලනය අද පස්වරුවේ මෙම නිවේදනය නිකුත් කළේ ය. එය නිකුත්කර තිබුණේ, එහි සභාපති, බදුල්ල රදගුරු අතිඋතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන් සහ මහලේකම්, කොළඹ සහායක රදගුරු අතිඋතුම් ඇන්තනී ජයකොඩි හිමිපාණන්ගේ අත්සනිනි. 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් හේතුවක් නොමැති බව කතෝලික රදගුරු සම්මේලනය එම නිවේදනයේ අවධාරණය කර තිබේ. එහි දැක්වෙන්නේ, සංශෝධනයකදී හෝ අලුත් ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී පළමුවෙන්ම සිදුවිය යුත්තේ ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීම බවයි. 1994 සිට බලයට පත්වූ සියලුම ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් 1978 ව්‍යවස්ථාවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත්වූ පාර්ලිමේන්තුවට දුන් බලය ලබාදීමටත් පොරොන්දු දුන් බව එම නිවේදනයේ සිහිපත් කර තිබේ. කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙන්නේ, ජනතාව නොදන්නා හේතු සාධක නිසා මෙම පොරොන්දුව කිසිවෙක් ඉටුකර නොමැති බවයි. සංවරණයකින් හා තුලනයකින් තොරව එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගතවීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර බව එම සම්මේලනයේ මතයයි. දේශපාලන පක්ෂ මත පදනම් වූ පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ගෙන් තුනෙන් දෙකක බහුතරයක් ජනතාවගේ සැබෑ හෘදය සාක්ෂිය ප්‍රකාශ නොකරන බව කතෝලික රදගුරු සම්මේලනය සිය නිවේදනයෙන් අවධාරණය කරයි. සම්පූර්ණ පාර්ලිමේන්තුවම ස්වාධීන ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවත් එය විනිවිද භාවයකින් යුත් ප්‍රජාතන්ත්‍රවාදී, නීතියේ ආදිපත්‍ය සුරකින හා සියලු ජනතාවට එක හා සමානව සලකන ව්‍යවස්ථාවක් විය යුතු බව එහි සඳහන් ය. තනි පුද්ගලයෙකුගේ අඩුපාඩු මත පදනම්ව පවතින නීති වෙනස් නොකර සත්‍යය , යුක්තිය සහ රටේ යහපත ආරක්ෂා කරමින් නීතිවලට අනුකූලව කටයුතු කරන පුද්ගලයින් හඳුනා ගැනීම හෝ පත්කිරීම යෝග්‍ය බව කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරයි. එම සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, රට ඉදිරියට ගෙන යා හැකි පරිපාලන පද්ධති සෑදීම ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ පාර්ලිමේන්තුවේ වගකීමක් වන අතර විවිධ අර්ථ කතනවලට ඉඩ ලබාදෙන අඩුපාඩු සම්පූර්ණයෙන් නිවැරදි කිරීමට නව ව්‍යවස්ථා සම්පාදකයින් වගබලා ගත යුතු බවයි. ව්‍යවස්ථාව මහජනතාව වෙනුවෙන් සේවය කිරීමට නම් සම්පූර්ණ පැහැදිලි භාවයක් තිබිය යුතු බව ද කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරයි. https://www.youtube.com/watch?v=C1j0qsHaqdg&feature=youtu.be