ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයින්ට වාරණයක්?

T10 ලීග් රහස් එළියට: ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට සහ සේවකයින්ට වාරණයක්?

by Staff writer 27-07-2020 | 9:40 PM
COLOMBO (News 1st): එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවති T10 ලීග් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අප කළ සොයා බැලීමකදී, කරුණු ගණනාවක් අනාවරණය කරගත හැකි විය. T10 ලීග් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩකයින් තිදෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතන නීති රීති වලට අනුකූලවයි. නමුත් අදාළ තරගාවලියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිවී තිබුණා ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි. එම ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් යොමු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙම ලිපිය යොමු කර තිබෙන්නේ, T10 ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් නම් ආයතනයක සභාපතිවරයා ලෙස හඳුන්වන සාජි උල් මල්ක් නම් පුද්ගලයෙකු වෙතයි. අදාළ කණ්ඩායම යොමු කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ, අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන්නේ ජාතික කණ්ඩායමකට පමණක් බවය. T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යවනු ලැබුවේ පළාත් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ කණ්ඩායමක් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ දක්වා තිබේ. ලේකම්වරයාගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව කිසිම ජාතික ක්‍රීඩා සංගමයකට ක්‍රීඩාවක් නියෝජනය කරමින් තනි ක්‍රීඩකයෙකුට හෝ කණ්ඩායමකට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා නොකළ යුතු අතර විදේශවල පැවැත්වෙන කිසිම ක්‍රීඩාවකට සහභාගී වන ලෙස කරනු ලබන ආරාධනයක් නොපිළිගත යුතු බවය. මෙම තරගාවලිය සම්බන්ධයෙන් එවක ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමිතාබ් චවුද්‍රි සඳහන් කර තිබුණේ මෙම T10 ක්‍රිකට් තරගාවලිය අනුමැතිය ලත් ක්‍රිකට් තරගාවලියක් නොවන බැවින්, ඉන්දිය ක්‍රීඩකයින්ට මෙම තරගාවලියට සහභාගී වීමට අවසර දී නොමැති බවය. තරගාවලියේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ සල්මාන් ඉක්බාල් අරී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අදාළ තරගාවලියේ සභාපතිත්වයෙන් ඉල්ලා අස් වන බව සඳහන් කර තිබුණි. ඊට හේතු දක්වමින් ඔහු පවසා තිබුණේ තරගාවලියේ විනිවිදභාවය හා වෘත්තීමය තත්වය මෙන්ම ක්‍රමවේදයද ගැටලුසහගත බවය. අයි.සී.සී මැදිහත්වීමකින් තොරව සිදු කෙරෙන පෞද්ගලික ක්‍රිකට් ලීග් තරගාවලි වල ප්‍රතිපත්ති හා ක්‍රමවේද නොමැති වීම හේතුවෙන් අක්‍රමිකතා සිදු විය හැකි බවද ඔහු සිය ඉල්ලා අස්වීම පිළිබඳ කරුණු දක්වමින් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්. ඩුබායි T10 තරගාවලිය සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා වෙනත් හිමිකරුවන් සිටියේදැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාගෙන් අප විමසු අවස්ථාවේ ඔහු එය ප්‍රතික්ෂේප කළේය. විජේ වියාස් නමැති මෙම පුද්ගලයා එවක සඳහන් කළේ මෙම ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම, තම හිමිකාරීත්වය යටතේ එක් වූ බවය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්, පසුගිය ජුනි මස 17 වැනිදා පැවැති කළමනාකරණ රැස්වීමකදී විධායක කමිටු සාමාජිකයින්ට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයින්ට, පිටතට තොරතුරු ලබා දිය නොහැකි ආකාරයෙන් ගිවිසුමක් අත්සන් කළ යුතු බවට අවසර ඉල්ලා වී තිබුණි. තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වී ඇති පසුබිමක, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙලෙස තොරතුරු වසන් කිරීමට සූදානම් වන්නේ ඔවුන්ගේ කටයුතුවල විනිවිදභාවයේ ගැටලු වසන් කිරීම සඳහා ද? ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට.... https://www.facebook.com/NewsfirstSL/videos/1665363270297123/