by Staff writer 06-07-2020 | 9:07 PM
News 1st - ඉන්දියාවේ පැවැති ක්‍රිකට් තරගාවලියක්, ඌව ප්‍රිමියර් ලීග් ටී ටුවෙන්ටි නමින් අන්තර් ජාලය ඔස්සේ විකාශය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අප පසුගිය දා වාර්තා කළේ, ඌව ප්‍රිමියර් ලීග් ටී ටුවෙන්ටි ලෙස හඳුන්වන නාම මාත්‍රික තරගාවලියක් මෙරට ක්‍රියාත්මක වන බවට අන්තර් ජාලය ඔස්සේ තොරතුරු ලැබුණු බවයි.
කණ්ඩායම් 4 ක සහභාගීත්වයෙන් ඌව ප්‍රිමියර් ලීග් නමින් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන බව සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් ඉන්දිය ක්‍රීඩා වෙබ් අඩවි පවා වාර්තා කර තිබුණි.
ඒ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ටී.එම්. ඩිල්ෂාන්, අජන්ත මෙන්ඩිස්, ෆර්වීස් මහරූෆ් සහ තිලාන් තුෂාර අදාළ කණ්ඩායම්වල නායකත්වය දරන බවට සඳහන් කරමිනි.
අප කළ විමසීමකදී එම ක්‍රීඩකයින් සඳහන් කළේ, මේ පිළිබඳව ඔවුන් කිසිදු ආකාරයකින් දැනුවත්ව නොමැති බවයි.
ඉන්දියාවේ මොහාලි පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම තරගාවලි සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු ඉන්දියාවේ සවාරා විලේජ් ප්‍රදේශයේදී සම්පූර්ණයෙන් ආවරණය කරන ලද ක්‍රීඩාංගණයක මෙම තරගාවලිය පවත්වා ඇති බව විදෙස් වාර්තාවල සඳහන්ය.
මෙරට ප්රචාරක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවට හැඟෙන සේ අදාළ කටයුතු සිදු කර ඇති බව ද හෙළිව තිබේ.
අන්තර් ජාලය ඔස්සේ සජීවිව තරග විකාශය කරමින් ඔට්ටු තැබීමේ ක්‍රියාවලියක් සිදු කර ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්ය.
අදාළ පුද්ගලයින් දෙදෙනො අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ඔට්ටු තැබීම පිළිබඳව ලද තොරතුරු අනුව ක්රියාක්මක කළ වැටලීමකදීයි.
https://www.facebook.com/NewsfirstSL/videos/730473344431679/