විමර්ශන නැවත්වූ ක්‍රිකට් අවුල තවදුරටත් කරළියේ...

by Chathuranga Rajapaksha 04-07-2020 | 9:31 PM

? මහින්දානන්ද කළ පැමිණිල්ලක් ගැන තොරතුරු නැහැ - ICC ? මගේ ස්ථාවරයේ වෙනසක් නැහැ: සියලු තොරතුරු ICCයට දුන්නා - මහින්දානන්ද අලුත්ගමගේ ? චෝදනාවට අදාළ කරුණු මහින්දානන්ද හෙළි කළ යුතුයි - අර්ජුන රණතුංග

  COLOMBO (News 1st): තරග පාවාදීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා දරන ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මේ අතර, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා අවධාරණය කරන්නේ සිදු කළ ප්‍රකාශයට අදාළ කරුණු අලුත්ගමගේ මහතා විසින් රටට හෙළි කළ යුතු බවය. 2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශයෙන් මතුව ආන්දෝලනාත්මක තත්ත්වය තවමත් පහවගොස් නොමැත. තරගය පාවා දීම පිළිබඳ කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ, සාමාන්‍යාධීකාරී ඇලෙක්ස් මාෂල් මහතා ද සඳහන් කර තිබුණි. ඔහු වැඩිදුරටත් පැවසුවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කළ පැමිණිල්ලක් පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බවය. මේ අතර ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සිද්ධියට අදාළව ඇරඹු පරීක්ෂණ ඊයේ අවසන් කෙරුණේ එම තරගය පාවා දීම පිළිබඳ කිසිදු කරුණක් අනාවරණය නොවීම හේතුවෙනි. මෙවැනි පසුබිමක් තුළ ඊයේ(03) රාත්‍රී නාවලපිටියේදී ඒ පිළිබඳව යළිත් අදහස් දැක්වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ කියා සිටියේය.
"මේකේ බරපතලකම නිසා මං කටඋත්තරයක් දුන්නා. නමුත් මේක විමර්ශනය කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්. ඒ සම්බන්ධයෙන් මං ඔවුන්ට තොරතුරු දීලා තියෙනවා. ජනාධිපතිතුමන්ගෙන් අද දින ඉල්ලීමක් කරා ඉතාම අසාධාරණ පහත් සිද්ධියක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා විසින් කරලා තියෙනවා. මේ පිලිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න මං ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරා. මේ ස්ථාවරයේ මං අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. ඒ පිළිබඳ කිසිදු වෙනසක් නෑ"
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක මර්වින් සිල්වා මහතා
"ඉන්දියාවට තැන දෙන්න මුදල්වලට පගාවට කරන කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. කුමන්ත්‍රණයේ ඉත්තෙක් බවට පත් වෙලා තියෙනවා මහින්දානන්ද මගේ මිත්‍රයා. ඇලෙක්ස් මාර්ෂල් ක්‍රිකට් කවුන්සිලයේ එයා කියනවා එහෙම දෙයක් සිද්ද වෙලා නෑ කියලා. පොලීසිය කියනවා නම් සිද්ද වෙලා නෑ කියලා. මම ස්ථීර වශයෙන්ම කියනවා. කවදාවත් තරග පාවාදීමක් අපේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් විරුවන්ගෙන් වෙලා නෑ... නෑ... නෑ"
සමගි ජන බලවේගයේ අපේක්ෂක අජිත් පී. පෙරේරා මහතා
"ක්‍රිකට් ලෝකේ ඉහළම තනතුරට අයි.සී.සී සභාපති කමට පත්වීමට ඔන්න මේන්න තියෙද්දී මහින්දානන් අලුත්ගමගේ ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන විශ්වාසනීයත්වය පිළිබඳ සැකයක් ඇති කරලා. අපේ රට ලෝකය ඉස්සරහා ලැජ්ජා කරන්න. සංගක්කාර ලෝකෙම ලොකු තනතුරකට පත් වෙන එක නතර කරන්න. මේ වර්තමාන රජයෙ වුවමනාවට අද කටයුතු කරලා තියෙනවා. හිර කරන්න හදලා බැරිම තැන පොලීසිය දැන් කියනවා සංගක්කාර වරදක් කරලා නෑ කියලා. අලුත්ගමගේ කියන දේ ඔප්පු කරන්න සාක්කි නෑලු"
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා
"මමත් ඒ තරගය තරගය නරඹන්න එවකට හිටපු ජනාධිපතිතුමා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක මුම්බායි නුවරට ගියා. ඉතින් එහෙම දෙයක් අපිනම් දැක්කේ නෑ. ක්‍රීඩකයෝ නැතුව මැච් ෆික්සිං එකක් කරන්න මේ ලෝකේ මං හිතන්නේ අපටත් බෑ. මේ ඔක්කොම ජවනිකා. මේ ඡන්දේ කාලෙට එන ජවනිකා. ඔය මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියන කතාවක් නෙවෙයි. ඕකේ පිටිපස්සේ එතුමාව හසුරුවන කව්රුහරි ඉන්නවා. මේකේ ආව විශාල ආන්දෝලනාත්මකභාවය නිසා මං හිතන්නේ රජයෙන් වහාම උපදෙස් දෙන්න ඇති මේක යටපත් කරලා දාන්න කියලා"
ස්වාධීන කණ්ඩායම් අංක 4 කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නාගානන්ද කොඩිතුවක්කු මහතා
"ඔබ දන්නවා අපේ ලංකාවේ හිටියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් ජයන්ත ධනපාල මහත්තයා. ඔය වගෙම ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඔහුගේ නම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් තනතුරට යෝජනා කරපු අවස්ථාවේදී කකුල්වලින් ඇද්දා. ඔහුට ඒ අවස්ථාව දුන්නේ නෑ. කවුද පත් වුණේ? බංකි මූන් ෆ්‍රොම් කොරියා. කව්ද ඔය චෝදනාව ගෙනාවේ සංගක්කාරට? කවුද මේ චෝදනාව ගේන්නේ? මහින්දානන්ද. මේ කැත මිනිස්සු රට පාවාදීලා. ඔය ටිකම තමයි ජයන්ත ධනපාල මහත්තයාට කළේ"
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා
"මම ප්‍රසිද්ධියේ කියුවා එහෙම චෝදනා තියෙනවා නම් ඔප්පු කරන්න පුලුවන් අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් කරන්න. එතුමාගේ කතාවේ තිබුණේ ක්‍රීඩකයෝ සම්බන්ධ නෑ කියලා. හැබැයි පරීක්ෂණයට ඉස්සෙල්ලාම ගෙනාවේ ක්‍රීඩකයෝ ටික. දවස් තුනක් යන්න ඉස්සෙල්ලා මේ පරීක්ෂණය ඉවර කරලා ක්‍රීඩකයින්ව නිදහස් කරලා තියෙනවා. මහින්දානන් අලුත්ගමගේ ඇමතිතුමා එතුමාට තියෙන කරුණු මොනවාද කියලා මේ රටට පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් කියන්න ඕනේ සමා වෙන්න මගෙ අතින් වරදක් සිද්ධ වුණා කියලා"