සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 01-07-2020 | 9:34 AM
COLOMBO (News 1st) : මෙරට ළමා සාහිත්‍ය පෝෂණයට අනභිභවනිය සේවයක් කළ කෘතහස්ත ළමා ලේඛිකාවක මෙන්ම චිත්‍ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවා ය. ඒ ශ්‍රී ජයවර්ධන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත වන විට සිබිල් වෙත්තසිංහ මහත්මිය 93 වන වියේ පසු වූවා ය. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන දිනය පිළිබඳව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතිහු ප්‍රකාශ කළ හ. ළමා හදවත් ස්පර්ශ කළ අපූර්ව කලා කුසලතායකින් හෙබි සිබිල් වෙත්තසිංහ මහත්මිය 1927 ගාල්ලේදී උපත ලැබී ය. ඇය ගින්තොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ හා බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවකි. කුඩා කල සිටම සිය චිත්‍ර කලාවට ඇලුම් කළ ඇය වයස අවුරුදු 15 වේ සිට ප්‍රසිද්ධ පුවත්පත් හා සඟරාවලට මෙන්ම කියවිම් පොත් සඳහා සිය නිර්මාණ දායකත්වය ලබාදුන්නා ය. ළමා මනස ඇද බැඳ ගන්නා ඇගේ චිත්‍ර නිර්මාණ ජනප්‍රිය වන්නට වැඩි කලක් ගත නොවී ය. නොබෝ කලකින්ම ඇය සිරිලක ජනප්‍රියම ළමා චිත්‍ර ශිල්පිනිය බවට පත්වූයේ මෙරට ළමා ප්‍රජාවගේ ආදරය දිනා ගනිමිනි. සිබිල් නැන්දා යන ආදර නාමයෙන් හඳුන්වන සිබිල් වෙත්තසිංහ මහත්මිය පළ කළ ළමා කතන්දර පොත් සංඛ්‍යාව සිය ගණනකි. ඉන් ළමා පොත් රැසක් අවස්ථා ගණනාවකදී රාජ්‍ය සම්මානයට ද පාත්‍ර විය. කුඩ හොරා,සූත්තර පුංචා, කිරිහාමි,දුවන රැවුළ, අච්චාරු මුට්ටිය, තොවිල් ගෙදර,කුසුම ලතා, කැවුම් බබා අදි නිර්මාණ රැසක් ඇය පළ කළ ළමා කතන්නදර පොත් අතර කුඩ හොරා ඇතුළු නිර්මාණ ගණනාවක් විදේශීය භාෂා රැසකට පරිවර්තනය වූ අතර කුඩ හොරා ජපානයේ ජනප්‍රියතම ළමා කෘතිය බවට පත්වීමෙන් පෙනී යන්නේ ඇගේ නිර්මාණ කෞෂල්‍යයේ ඇති අපූර්වත්වයයි. සිබිල් වෙත්තසිංහ ළමා පොත් රැසකටම චිත්‍ර නිර්මාණය කළ අතර ඒ සෑම ග්‍රන්ථයක්ම ළමා පරපුර අතර අතිශය ජනප්‍රිය විය. සිය මුළු දිවියම ළමා ලෝකයේ සතුට වෙනුවෙන් කැප කළ සිබිල් වෙත්තසිංහ මහත්මිය සිය අපූර්ව කුසලතාව ළමා පරපුරට ලබාදීමට සුවිශේෂී දායක්තයක් සපයනු ලැබී ය. ඇගේ නිර්මාණ තවත් කප් සුවහස් කල් මෙරට ළමා ලෝකය සුන්දර කරනු ඇති.