2011 ලෝක කුසලාන අවසන් තරගය වික්කාද?

2011 ලෝක කුසලාන අවසන් තරගය වික්කාද?

by Staff writer 19-06-2020 | 10:37 PM
COLOMBO (News 1st) : 2011 ලොක කුසලාන අවසන් තරඟය පාවා දුන් බවට හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ නිව්ස් ලයින් සමග කල ප්‍රකාශය මේ වනවිට මහත් ආන්දෝලනයකට හේතුවී තිබේ. මේ ගැන පූර්ණ විමර්ශනයක් කරන්නැයි, වත්මන් ක්‍රීයා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා අද අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ය. මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මේ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අද ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය . ඒ මගින් ඉල්ලා ඇත්තේ 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ නීතිමය විධිවිධාන අනුව වහාම මේ පිළිබදව විමර්ශනයක් කොට නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙසයි. මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සති 02 කට වරක තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරල ලෙසද ලේකම්වරයා දැනුම්දී තිබේ. 2011 අප්‍රේල් 2 වනදා ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වුනේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදීයි. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට ක්‍රීඩා කලේ ක්‍රීඩකයින් 4 දෙනෙකුගේ වෙනස් කම් සමගයි. එතෙක් තරගවලට සහභාගිවූ චාමර සිල්වා, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට අවසන් තරගයට චාමර කපුගෙදර, තිසර පෙරේරා, සුරාජ් රන්දීව් සහ නුවන් කුලසේකර කැදවීමට එවක තේරීම් කමිටුව පියවර ගෙන තිබිණ. තරගයේ කාසියේ වාසිය තීරණය කිරීමට කාසිය දෙවරක් දැමීමට සිදුවීම විශේෂ සිද්ධියකි. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මහේල ජයවර්ධන නොදැවී ලකුණු 103 ක් ලබාගත්තේ ය. පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් බිඳවැටී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 274 කි. ජයග්‍රහනය වෙනුවෙන් ලකුණු 275 ක ඉලක්කයක් සමග පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුළු 2 ලකුණු 31 කදී බිඳ වැටිණ. . එහෙත් ගෞතම් ගාම්භීර් ලකුණු 97 ක් හා නොදැවී ක්‍රීඩා කළ මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 91 ක් ලබා ගැනීමත් සමග ඉන්දීය කණ්ඩායම කඩුලු 4 ක් පමණක් දැවී තරගය ජයගත්තේ ය. මේ කාලසීමාවේ ක්‍රීඩා ඇමතිවරයා වූයේද මහින්දානන්ද අලුත්ගමගේ මහතායි. ඩී.එස් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙසත් නිශාන්ත රණතුංග මහතා ලේකම්වරයා ලෙසත් කටයුතු කළේ ය. සුරාජ් දන්දෙනිය මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට අධ්‍යක්ෂවරයායි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසෙ අරවින්ද ද සිල්වා මහතා කටයුතු කල අතර අමල් සිල්වා, රන්ජිත් ප්‍රනාන්දු මහ ශබීර් අස්ගර් අලී යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයින් ය.   https://www.facebook.com/NewsfirstSL/videos/970261243412429/