MCC යළිත් කරළියට

MCC යළිත් කරළියට

by Staff writer 16-06-2020 | 8:38 PM
COLOMBO (News 1st) : පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාවක්වූ MCC ගිවිසුම ගැන යළිත් සංවාදයක් ඇතිවී තිබේ. ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්ව කිහිපයක්ම මේ ගිවිසුමට විරුද්ධත්වය පළ කර ඇති අතර ජනාධිපතිවරණ සමයේ ඔවුන් අවධාරණය කළේ, අහිතකර ගිවිසුම් කිසිවක් අත්සන් නොකරන බවයි. කෙසේවෙතත් මහ මැතිවරණයෙන් පසුව MCC ගිවිසුම පිළිබඳ තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය පවසා ඇතැයි, අද පුවත්පත් වාර්තාකර තිබේ. ප්‍රවාහන පද්ධතිය වැඩි දියුණු කිරීම හා ඉඩම් නීති ප්‍රතිසංස්කරණ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබාදීමට අදාළව ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ආයතනය සමග ගිවිසුම් ගතවීමට පසුගිය රජය සමයේ යෝජනා විය. අද පුවත්පත් වාර්තා කර ඇති පරිදි මෙරට ඇමරිකානු තානාපතිවරිය පවසා ඇත්තේ මැතිවරණය තෙක් පවතින සංක්‍රාන්ති කාල සීමාව අවසන්වන තෙක් MCC ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා බලා සිටින බවයි. මේ අතර ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකා නැන්සි වැන්හෝර්න් මහත්මිය අද තවත් පුවත්පතකට පවසා තිබුණේ, MCC ප්‍රදානය සඳහා නිශ්චිත කාලසීමාවක් නොමැති බවයි. එම්සීසී පිළිබඳව ඇමරිකාව වරින් වර කරන මේ ප්‍රකාශ මොනවා ද? නිශ්චිත කාලරාමුවක් නැතැයි ඔවුන් අද කියා සිටියත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ MCC මෙරට අධ්‍යක්ෂ ජෙනර් එඩ්ල්මන් මහත්මිය පවසා තිබුණේ, ශ්‍රී ලංකාවට මේ සඳහා ඇති කාලය අවසන් වෙමින් ඇති බවයි. ''මේ මාස 18 වෙනිදා අපේ කමිටු රැස්වීම පැවැත්වෙනවා. ඔවුන් සෑම වසරකම සිව් වතාවක් එළෙස හමුවනවා. මෙහිදී ලංකාව ගැන මෙන්ම මෙම වැඩසටහන සදහා නිසි කාලයක් ඇතුළත කැබිනට් අනුමැතිය හිමි නොවීම පිළිබඳවත් ඒ සඳහා ඇති අභියෝග පිළිබඳව අපි සාකච්ඡා කරනවා..'' මේ ප්‍රකාශය කර මාස 9 ක් ගතවී තිබියදී දැන් අමරිකාව ප්‍රකාශ කරන්නේ MCC සඳහා නිශ්චිත කාලරාමුවක් නොමැති බවයි. දැනටමත් ඇක්සා ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් කර ඇති අතර එය පසුගිය ආණ්ඩුව සමයේ තවත් පුළුල් කළේ ය. සෝපා ගිවිසුම ගැනත් මීට සමගාමීව සංවාදයක් ඇතිවී තිබෙන අතර එය ද අත්සන් කිරීමට යෝජනාවී තිබිණ. මේ ගිවිසුම් දෙක බලපෑවේ හමුදාමය ක්‍රියාකාරකම්වලටයි. ඇක්සා ගිවිසුම පමණක් අත්සන්කර තිබියදී පසුගිය කාලයේ ප්‍රශ්නගත ක්‍රියාකාරකම් රැසක්ම වාර්තා විය. පසුගිය වසරේ සැප්තැම්බර් මස අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවට සේවා සපයන වෙස්ටන් ග්ලෝබල් එයාලයින් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණියේ ය. අනතුරුව අවස්ථා කිහිපයකදීම මෙම යානාවලින් විවිධ භාණ්ඩ ප්‍රවාහනය සිදුවිය. වෙස්ටර්න් ග්ලෝබල් සමාගමේ ඇතැම් යානා පැමිණ තිබුනේ විදේශවල පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරුවලිනි. එම යානා පැමිණීමට පෙර ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබූ යූ එස්එස් ජෝන් සී ස්ටැනිස් යුද නෞකාවට කටුනායක ගුවන් තොටුපොළ හරහා භාණ්ඩ හුවමාරු කිරීමේ මෙහෙයුමක් ද සිදු කළේ ය. මේ අතර පසුගිය දිනක ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු PCR පරීක්ෂණය ප්‍රතික්ෂේප කර රටට ඇතුළුවීම ද බරපතළ සැකයකට හේතුවිය. පසුව ආණ්ඩුවේම පාර්ශවකරුවන් අනාවරණය කළේ, මේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර ඇති නිලධාරියා ඉන්දු පැසිෆිස් විධානයේ නිලධාරියෙකු බවයි. මේ සියලු සිදුවීම් මැද දැන් MCC යළිත් කරළියට පැමිණ තිබේ. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කිරීමට ජනාධිපතිවරයා පත්කළ ලලිතසිරි ගුනරුවන් කමිටුද මේ වනවිට අවසන් වාර්තාව සූදානම් කරමින් සිටී.