සුජීව විජයනායකට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තනතුරක්

ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු සුජීව විජයනායකට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක තනතුරක්

by Staff writer 14-06-2020 | 10:14 PM

COLOMBO (News 1st) –  ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු සුජීව විජයනායක මහතාට ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවේ තනතුරක් හිමිව තිබේ. සුජීව විජයනායක මහතා පත්කර ඇත්තේ ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් හා සැහැල්ලු පන්දු නියෝජ්‍ය තාක්ෂණික මෙහෙයුම් කළමනාකරු ලෙසය.

ජපානයේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජපාන ඔලිම්පික් කමිටුව විසින් ඔහු එම තනතුරට පත් කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දැමුණු අතර එය 2021 වසරේ ජූලි 23 වැනිදා ආරම්භ කිරීමට නියමිත ය. ඒ අනුව සුජීව විජයනායක මහතා අදාළ තනතුරේ වසර එකහමාරක පමණ කාලයක් කටයුතු කරනු ඇති. 2010 වසරේ සිට ජාත්‍යන්තර බේස් බෝල් විනිසුරුවරයෙකු ලෙසත් ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරියෙකු ලෙසත් කටයුතු කරන ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු සුජීව විජයනායක මහතා
ඇත්තටම මේ පත්වීමත් එක්ක මම ලෝක ඔලිම්පික් කමිටුව ඒ වගේම ජපානයේ ඔලිම්පික් කමිටුව ඒ වගේම ලෝක බේස්බෝල් සංගමය අතර තාක්ෂණික මට්ටමේ කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ හරහා ශ්‍රී ලංකාවේ නම ශ්‍රී ලංකාවේ ධජය ලෝකයට ගෙනියන්න මට අවස්ථාවක් ලැබිලා තිබෙනවා.
සුජීව විජයනායක මහතා වරක් ස්පෝර්ට්ස් ෆස්ට් ගමට ක්‍රීඩා වැඩසටහනට ද සම්බන්ධ විය.