ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු වසං කිරීමේ මෙහෙයුමක

ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු වසං කිරීමේ මෙහෙයුමක

by Staff writer 11-06-2020 | 10:17 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා ගනනාවක් පසුගිය කාලයේ අනාවරණය විය. මේ අතරින් ඇතැම් දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වන අතර තවත් ගනුදෙනු ගැන පොලිස් විමර්ශවන සිදුවෙමින් තිබේ. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදීද මේවා ගැන දිගින් දිගටම කරුනු හෙළි විය. එසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තොරතුරු දැනගැනීමේ පනතට මූවාවී ආයතනයේ පැරණි ලිපි ලේඛන තොගයක් විනාශ කිරීමට සූදානම් වන පුවතක් දැන් වාර්තා වේ. මේ අනාවරණය ඒ පිළිබඳවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලයේ සිදුකළ ගනුදෙනු ඇතුළු විවිධ කටයුතු සදහා යොදාගත් ලිපි ලේකන තොගයක් කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ රඳවා තිබෙන බවට අප වෙත තොරතුරු ලැබී තිබේ. ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ඉඩ පහසුකම සකසා ගැනීමට යැයි පවසමින් මේ ලිපි ලේකන ඇතුළු භාණ්ඩ තොගයක් විනාශ කළ යුතු බවට 2019 මාර්තු 30 දා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් ඉදිරිපත්වී තිබිණ. විධායක කමිටුවට යෝජනාව ඉදිරිපත් කර තිබුනේ සුජීව ගොඩලියද්ද මහතායි. එම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ නිර්දේශයවී තිබුණේ, වසර 10 කට වඩා පැරණි ලිපි ලේකන විනාශ කිරීමට බාධාවක් නොමැති බවයි. තොරතුරු දැන ගැනීමේ පනත අනුව වසර 10 කට වඩා පැරණි තොරතුරු ලබාදීමට බැදීමක් නැතැයි නීති අංශයේ නිර්දේශයවී තිබිණ. මේ නිර්දේශය යළිත් විධායක කමිටුවට යොමුකර සාකච්ඡා කර තිබුනේ පසුගිය මැයි 29 වන දිනයි. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඛෙත්තරාම ක්‍රීඩාංගනයේ රදවා ඇති මේ ලිපි ලේඛන තවමත් ඉවත්කර නැතත් කොයි මොහොතක හෝ ඒවා ඉවත්කිරීමේ අවධානමක් දැන් මතුව තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අදාරය කරන බොහො පිරිසක් වෙනුවෙන් අපට ක්‍රිකට් බලධාරීන්ගෙන් අසන්නට තිබෙන්නේ තොරතුරු දැනගැනීමේ පනතට මුවාවී ලිපි ලේකන විනාශ කිරීමට සූදානම් වන්නේ දූෂිත ගනුදෙනු ගැන කරන විමර්ශන වසන් කිරීමටද? යන්නයි. ජනතාවට තොරතුරු වසන් කලත් අධිකරණයට සහ විමර්ශන නිලධාරීන්ට තොරතුරු වසන් කිරීමට ඇති නීතිමය ආවරණය කුමක්ද? අපට වාර්තා වන්නේ තවමත් මේවා විනාශකර නොමැති බවයි. අනාගත විමර්ශනවලට මේලියවිලි අවශ්‍ය වුවහොත් ඒවා විනාශ කිරීමට පෙර අදාල බලධාරීන් අතට ගත යුතු නොවේද? ක්‍රීඩා අමාත්‍යවරයා මේ ගැන ඉක්මන් අවධානය යොමුනොකලොත් මේ වැදගත් ලිය කියවිලිවලට සිදුවූ දෙයක් සොයා ගැනීමටවත් නොහැකි වනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/2588022251457693/