ඉතාලියේ සියලු ක්‍රීඩා ඉසව් අත්හිටුවයි

ඉතාලියේ පැවැත්වීමට නියමිත සියලු ක්‍රීඩා ඉසව් අත්හිටුවයි

by Staff writer 10-03-2020 | 8:14 AM
COLOMBO (News 1st) : ඉතාලියේදී පැවැත්වීමට නියමිතව තිබු සියලුම ක්‍රීඩා ඉසව් ලබන අප්‍රේල් 3 වැනිදා දක්වා අත්හිටුවා තිබේ. ඒ, කොරෝනා වයිරසය හේතුවෙනි. ඉතාලි රජය පවසන්නේ ලබන මස 3 වැනිදා දක්වා එරටදී පැවැත්වීමට නියමිතව තිබූ සියලු ක්‍රීඩා ඉසව් අත්හිටුවන බවයි. එම තීරණයට ඉතාලි ඔලිම්පික් කමිටුවේ ද අනුමැතිය හිමි වූ බවට විදෙස් වාර්තාවල සඳහන් ය. කෙසේ නමුත් එරට ක්‍රීඩා සමාජ හෝ ජාතික කණ්ඩායම්වලට ජාත්‍යන්තර මට්ටමේ තරග සදහා ඉදිරිපත් වීමේ අවස්ථාව පවතින බවට ඉතාලි රජය සඳහන් කරයි. පාපන්දු, රග්බි, ටෙනිස්, ෆෝර්මියුලා වන් වැනි ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වයකින් යුතු ක්‍රීඩා ඉසව් ඉතාලියේ ඉතා ජනප්‍රිය මට්ටමක පවතින අතර මෙම තත්ත්වය එරට ක්‍රීඩා ක්ෂේත්‍රයට ද දැඩි බලපෑම් එල්ල කර තිබේ. ඉතාලි රජය මීට පෙර පැවසුවේ ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව තරග පවත්වන බවටයි. ඒ අනුව පසුගිය ඉරිදා ඉන්ටර් මිලාන් සහ යුවෙන්ටස් අතර පාපන්දු තරගය කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට සිදු වුණා. සික්ස් නේෂන්ස් කුසලාන රග්බි තරගාවලියේ ඉතාලිය සහ එංගලන්තය අතර තරග, කොරෝනා වයිරසය හේතුවෙන් කල් දැමුවේ පසුගිය සතියේදීයි.