කාන්තාව සැබෑ ලෙසම සුරක්ෂිතද ?

කාන්තා දිනයක් නම් කළ පමණින් කාන්තාව සුරක්ෂිතද ?

by Chathurika Jayasundara 08-03-2020 | 10:29 PM

COLOMBO ( News 1st  ) -  කාන්තාව වෙනුවෙන් දිනයක් වෙන්කර තිබුණත් ද ඔවුන්ට සිදුවන තාඩන පීඩනවල නම් අඩුවක් නැහැ.

කාන්තා හිංසනයන් අවම කිරීමට ගෙන ඇති පියවර මොනවාද ? කාන්තාවන්ට හිංසා සිදුකරන සමාජයක් ගොඩනැගී ඇත්තේ ඇයි? A.S.M.S මහානාම කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් 2020 මෙවර කාන්තා දිනයේ තේමාව ඇය දිරිමත් රට සවිමත් . රටේ ආර්ථිකයට පණ දීලා කටයුතු කරන ව්‍යවසායක කාන්තාවන් අගයන්න තමයි මෙවර තේමාව ‌වෙලා තියෙන්නේ . ඇගේ ව්‍යවසායක ශක්තිය මත රටේ සෞභාග්‍ය කරා යන්නේ කොහොමද කියන ඒක තමයි . සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්තියේ සඳහන් වෙනවා චතුර්විධ අරමුණු . ඵලදායි පුරවැසියෙක් , සතුටින් ජීවත් වන පවුලක්, විනය ගරුක සමාජයක් , සෞභාග්‍යමත් දේශයක් . මේ කරුණු 4 ම කාන්තාවට සම්බන්ධයි. කාන්තාව නිසා තමයි විනය ගරුක සමාජයක් හදාගන්න පුලුවන්. සතුටින් ජීවත් වන පවුලක් කියන එකේ කාන්තාවට මූලික තැනක් හිමි වෙනවා. සැබවින්ම කාන්තාව දිරිමත් වී රට සවිමත් වනවාද? ආචාර්ය අනූෂා එදිරිසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා අනූෂා එදිරිසිංහ වර්තමානයේ කාන්තාවට ඇති තත්ත්වය කුමක්ද
වර්තමාන සමාජය තුළ කාන්තාවට හිමි තැන පිළිබඳව කතා කරනකොට සාම්ප්‍රදායික කාන්තාවය වඩා නූතන කාන්තාව ඉතාමත් ප්‍රබල ලෙස සමාජය සමග සමාජ සබඳතා ගෙන යමින් මහ සමාජය තුළ වැඩ කරන තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා. රාජ්‍ය අංශයේ වැඩි පිරිසක් කාන්තාවෝ. ඒ වගේම අධ්‍යාපන ක්ෂෙත්‍රය තුළ , පුද්ගලික අංශය තුළ කාන්තාවට හිමි තත්ත්වය ගැන කතා කරනකොට ඇය මහ සමාජය සමග ගැටෙන අවස්ථාව වැඩියි. මේ ගැටීමත් එක්ක ඇය මුහුණ දෙන ගැටලුකාරී වටපිටාව ඉහළයමින් පැවතීම කනගාටුවට කරුණක්. එය අපි කැලණිය වීශ්වවිද්‍යාලය මගින් කාන්තාවන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් පෙන්නන්න හැකියාවක් තියෙනවා.
කාන්තා දිනයක් නම් කළ පමණින් කාන්තාව සුරක්ෂිතද ?
ජාත්‍යන්තර කාන්තා දිනය තුළින් විතරක්ම අපිට කාන්තාවගේ අයිතිවාසිකම් පිළිබඳව , ඇය මුහුණ දෙන හිංසනය වැළැක්වීම පිළිබඳව කටයුතු කරන්න බෑ. කාන්තා දිනය ජාත්‍යන්තර වශයෙන් අපි සමරනවා. නමුත් වර්ෂය පුරාම රාජ්‍ය අංශය , පුද්ගලික අංශය සෑම ක්ෂේත්‍රයකම විධිමත්ව අවිධිමත්ව කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු වෙනවා. ජාත්‍යන්තර වශයෙන් කාන්තාවන්ට සමානාත්මතාවයෙන් සැළකීම සහ ඇගේ අයිතිවාසිකම් සුරකින්නේ කෙසේ ද යන්න තමයි මෙවර තේමාව වෙලා තියෙන්නේ . ඒ වගේම කාන්තා කටයුතු අමාත්‍යාංශයේ තේමාව වෙලා තියෙන්නේ කාන්තාව දිරිමත් කිරීම තුළින් කොහොමද රට සවිමත් වෙන්නේ කියලා. තිරසාර සංවර්ධනය තුළින් සංවර්ධන ඉලක්ක කරා යන මේ ගමන තුළ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සෑම ආයතනයක්ම, සෑම පුද්ගලයෙක්ම කැපවිය යුතුයි හැමදාම .
ලාංකික සමාජය තුළ මෙන්ම පවුල් සංස්ථාව තුළත් කාන්තාව ආරක්ෂිත ද?
ලාංකීය කාන්තාව ගැන කතා කරනකොට පවුල් සංස්ථාව තුළ ඇය මුහුණ දෙන ගැටලු ගොඩක් තියෙනවා. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2016 , 2017, 2018, 2019 සංඛ්‍යා දත්ත සළකා බලනකොට 110,000 ඉක්මවලා පවුල් ආරවුල් විතරක් වාර්තා වෙලා තියෙනවා. අනියම් ප්‍රෙම සම්බන්ධතා නිසා ඇතිවෙලා තියෙන පවුල් ආරවුල් ප්‍රමාණය වාර්ෂිකව 10,000 ඉක්මවලා තියෙනවා. ගෘහස්ත හිංසනය පනත යටතේ එන ආරවුල් ප්‍රමාණය ඒ සමානවම ඉහළ ගිහිල්ලා තියෙනවා. පවුල් සංස්ථාව තුළ කාන්තාව මුහුණදෙන ගැටලුවලදී ඇය හිංසනයට ලක්වන අවස්ථා වැඩියි කියලා තමයි පේන්නේ . හැබැයි වර්තමාන සමාජය තුළ මේවා වාර්තා වෙන්නේ 10% ක් වගේ . වාර්තා නොවන ප්‍රමාණය වැඩියි. මේ නිසා සෑම පවුල් සංස්ථාවකම සාමාජිකයින්ට කාන්තාවට සාමකාමීව ජීවත්වීමට ඉඩකඩ සැලසීමට වගකීමක් තියෙනවා. ලංකාවේ මේ වෙනකොට කාන්තා ගෘහමුලික පවුල් ප්‍රමාණය වැඩියි. මේ පවුල්වල කාන්තාවන් හා දරුවන් ආරක්ෂා කිරීමට ළමා හා කන්තා කාර්යාංශය කටයුතු කරනවා. ඒ වගේම පවුල් සංස්ථාව තුළ ඇති ගැටලුවක් තමයි ගැහැණු දරුවන් අපයෝජයට ලක් වීම. මේ ගැහැණු දරුවන් ළමා මව්වරුන් බවට පත්වීම නිසා අද අපි පවුල් සංස්ථාව තුළ තවත් ගැටලු රැසකට මුහුණදීලා තියෙනවා. ඉතින් මේ ගැහැණු දරුවන්ගේ දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී පාසල් පද්ධතිය තුළ සිටින විදුහල්පතිවරුන් මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. මේ අවබෝධයෙන් නැති නිසා අපි ගැටලු රැසකට මුහුණ දීලා තියෙනවා. මේ නිසා අලුත් උප්පැන්නයක් නිකුත් කිරීම දක්වා මේ කටයුත්ත ගෙනිහින් තියෙනවා. එහි විවාහක අවිවාහක බව තීරය ඉවත් කිරීමට අපි යෝජනා කරලා මේ වෙනකොට ඒක ක්‍රියාත්මක වෙනවා.
රජය විදිහට කාන්තාව වෙනුවෙන් ගතයුතු වෙනත් ක්‍රියාමාර්ග තියෙනවද?
රජයක් විදිහට විධිමත් ආකාරයෙන් කාන්තාවන්ට සිදුවන හිංසන විශේෂයෙන්ම ගැහැණු දරුවන්ට සිදුවන හිංසන වළක්වා ගැනීමට කටයුතු කරන්න ඕනේ. නීති ක්ෂේත්‍රය තුළ අපි විශේෂ අවධානයක් මෙයට යොමු කරන්න ඕනේ . කාන්තාවන්ට සයිබර් අවකාශය හරහා සිදුවන හිංසන වළක්වා ගැනීමට විශේෂ පියවරක් ගත යුතුයි. මේ සිදුවීම්වලට නීතියේ පිළිසරණ ලබාගද්දී යම් හිඩසක් පවතිනවා. ඒ වගේම අවිධිමත් ක්ෂේත්‍රවල වැඩ කරන කාන්තාවන්ගේ සමාජ ආරක්ෂණය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ.
දියණියක, සොහොයුරියක, බිරිඳක, මවක, මිත්තණියක ලෙස සමාජයට මහ මහෙවරක් ඉටුකරන කාන්තාව සුරක්ෂිත කිරීම සියල්ලන්ගේ වගකීමක්.   https://youtu.be/pi9dZCqOS6s