කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දුගෙන් ශතක

කුසල් සහ අවිශ්කගේ විශිෂ්ට පිතිහරඹයෙන් කොදෙව්වන්ට ලකුණු 346ක ඉලක්කයක්

by Chathuranga Rajapaksha 26-02-2020 | 6:21 PM

COLOMBO (News 1st): ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මේ වනවිට පැවැත්වේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 345 ක් ලබා ගැනීමට සමත් විය. ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවේදී සහභාගී වන 100 වැනි එක්දින ක්‍රිකට් තරගය මෙය වන අතර කුසල් ජනිත් පෙරේරා සහභාගීවන 100 වැනි එක්දින ක්‍රිකට් තරගයද මෙයයි. හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දිවා/රාත්‍රී තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව, ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 2ක් ලකුණු 9ක් තුළ දවා ගැනිමට කොදෙව් පන්දු යවන්නන් සමත් විය. නායක දිමුත් කරුණාරත්න එක් ලකුණකට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය. අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු සමග එක් වූ කුසල් මෙන්ඩිස් 3වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 239ක වාර්තාගත සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය. එම වාර්තා මෙසේය.

1. සූරියවැව ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැත්වූ 3වන ඉහළම සබඳතාවය.

2. ශ්‍රී ලංකා කණ්ඩායම 3වන කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ඉහළම ලකුණු සබඳතාවය

3. ලෝකයේ ක්‍රිකට් කණ්ඩායමක් 3වන කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ 4වන හොඳම සබඳතාවය

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් අද සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවන ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර පන්දු 119කදී ඔහු ලකුණු ගණන 119කි. අවිශ්ක ප්‍රනාන්දු ද විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ඔහුගේ දෙවන එක්දින ශතකය වාර්තා කළේය. පන්දු 123කදී ඔහු ලබාගත් ලකුණු ගණන 127කි. තිසර පෙරේරා ලකුණු 36ක් ලබා ගත්තේය. ශෙල්ඩන් කොට්රල් කඩුලු 4ක් දවාගත් අතර අල්සාරි ජෝස්ෆ් කඩුලු 3ක් දවා ගත්තේය. කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා හිමිව ඇති ඉලක්කය ලකුණු 346කි.