සෝනි සමාගම විකාශන ලංසුව ඉවත් කර ගනී

by Staff writer 23-02-2020 | 9:38 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දීර්ඝ කාලීන විකාශන අයිති හිමිකරුවෙකු ලෙස ක්‍රියාකළ සෝනි පික්චර්ස් ආයතනය ඉදිරි තුන් වසරක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විකාශන අයිතීන් ලබා ගැනීමෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

සෝනි පික්චර්ස් ආයතනය 2013 වසරේ සිට වසර හතක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග විකාශන අයීතීන් වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කර තිබුණි. කෙසේ වෙතත් එළඹෙන අප්‍රේල් මාසයෙන් ඇරඹෙන නව කාලසීමාව සඳහා සෝනි පික්චර්ස් ආයතනය සිය ලංසුව ඉවත්කර ගෙන ඇතැයි වාර්තා වෙයි. එම ආයතනය විකාශන අයීතීන් සඳහා ලංසු තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිවිදභාවය පිළිබඳව ලිපියකින් අදහස් ප්‍රකාශ කර ඇති බව සඳහන් ය. පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය වෙනුවෙන් ලංසු විවෘත කිරීමට නියමිතව තිබුනද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව හමුවේ පෙනී සිටීම හේතුවෙන් එය පසුගිය සිකුරාදා සිදු කිරීමට කටයුතු කර තිබුණි. සිකුරාදා උදෑසන ලංසු විවෘත කෙරුණේ අයි.සී.සී. යේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා ඉදිරියේදී යි. සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස්, ලෙක්ස් එන්ටර්ටේන්මන්ට් ඇන්ඩ් මීඩියා පුද්ගලික සමාගම සහ ලක්ස් ස්පෝටෙල් විෂන් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන අයිතිය සඳහා ලංසු ඉදිරිපත් කර තිබේ. ඩිජිටල් අයිතිවාසිකම් සඳහා ආයතන 3 ක් සහ නිෂ්පාදන අයිතිවාසිකම් සඳහා ආයතන 5ක් ලංසු ඉදිරිපත් කර තිබේ. පසුගිය සිකුරාදා රජයේ නිවාඩු දිනයක් වීම හේතුවෙන් ලංසු විවෘත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝජිතයෙකු පැමිණ නොසිටි අතර ඒ අනුව, හෙට අදාළ තාක්ෂණික හා මූල්‍යමය ඇගයීම් සිදුකරනු ඇතැයි වාර්තා විය. සෝනි පික්චර්ස් ආයතනය ඉවත් වීමෙන් පසු විකාශන අයීතීන් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ආයතන දෙකක් පමණක් ඉතිරිව ඇති බව සඳහන් වේ. ඒ ලක්ස් ස්පෝර්ටෙල් විෂන් පුද්ගලික සමාගම හා ලෙක්ස් එන්ටර්ටේන්මන්ට් සහ මීඩියා පුද්ගලික සමාගමයි. මෙම ආයතන දෙකම D-583, Basement, Chittaranjan Park, New Delhi, South Delhi DL 110019 IN.යන එකම ලිපිනයේ ලියාපදිංචි වී තිබීම විශේෂත්වය‍කි. සමාගම් දෙකක් එකම ලිපිනයකින් පෙනී සිටීම ද මෙවර විකාශන අයිතිය ලබා දීමට සූදානම් වන අවස්ථාවේ වැඩි දුරටත් අවධානයට යොමු වූ කරුණකි. විකාශන අයිතියට අදාළ අවිධිමත් මූල්‍ය ගණුදෙනු රාශියක් පිළිබඳව පසුගිය කාලය පුරාවටම අනාවරණය විය. එම අයිතිය වෙනුවෙන් මෙරටට හිමි විය යුතු මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් විදේශවල පිහිටි බැංකුවලට ගිණුම්ගත වීම් සහ ගිණුම්ගත කිරිමට ගත් ප්‍රයත්න පිළිබඳව ද අනාවණය වී තිබේ. මෙවැනි පසුබිමකදී විකාශන අයිතිය දේශීය විකාශන සමාගමකට හෝ ඒ වෙනුවෙන් විනිවිද භාවයකින් හා වගකීමකින් කටයුතු කළහැකි ආයතනයකට ලබාදීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි. එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා ගිවිසුම්ගත වීමට සූදානම් වන පසුබිමක සිදුවන ක්‍රියාවලි පිළීබඳව වඩාත් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට ද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු ය.