බංග්ලාදේශය 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගනී

බංග්ලාදේශය පළමු වරට 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගනී

by Staff writer 09-02-2020 | 9:56 PM
COLOMBO (News 1st) : බංග්ලාදේශය පළමු වරට වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය අද දිනා ගත්තේ ය. ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවැති අවසන් තරගය කඩුලු 3කින් ජය ගනිමිනි. කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක අක්බාර් අලී පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඉනිම ඇරඹු ඉන්දීය යොවුන් කන්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ මුළු ලකුණ් සංඛ්‍යාව 9 ක්ව තිබියදීයි. යෂස්වි ජයිස්වාල් සමග එක් වූ ටිලක් වර්මා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සබඳතාවක් ගොඩනැගූහ. වර්මා ලකුණු 38ක් රැස් කළ අතර ජයිස්වාල් ලකුණු 88ක් රැස් කළේ ය. පිතිකරුවන් 8 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ. අවිශේක් දාස් ලකුණු 40 ට කඩුලු 3 ක් දවා ගත්තේ ය. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 2කදී සියලු දෙනා දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 177කි. පර්වීස් හුසේන් සහ ටැන්සිඩ් හසාන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 50කි. හසන් ලකුණු 17ක් රැස් කළේ ය. අනතුරුව ලකුණු 15ක් තුළ කඩුලු 3ක් බිඳ වැටිණ. ආරම්භක පිතිකරු පර්වීස් සහ නායක අක්බාර් අතර 7 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 41 ක් වූ අතර පර්වීස් ලකුණු 47ක් රැස් කළේ ය. රවි බිෂ්නෝනි ලකුණු 30ට කඩුලු 4ක් රැස් කළේ ය. පන්දුවාර 41 ක් අවසානයේ බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 163ක් රැස් කරගෙන සිටියදී වැසි ඇද හැළිණ. ඉන් අනතුරුව තරගය නැවත් ආරම්භ වූ අතර පන්දුවාර 46කදී බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය ලකුණු 170කි. බංග්ලාදේශය තරගය ජය ගත්තේ පන්දුවාර 42යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 7 ක් දැවී සිටියදීයි.