by Staff writer 04-02-2020 | 9:04 PM
COLOMBO (News 1st) - 44 වැනි ජාතික මහා ක්රීඩා උළෙලේදී තහනම් උත්තේජක ගත් බවට තහවුරු වී සිටි රන් පදක්කම් ලාභි කබඩි ක්රීඩිකාවකට වසර 4 ක පූර්ණ තරග තහනමක් පැනවීමට ශ්රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය තීරණය කර තිබේ.
අදාළ ක්රීඩිකාවට තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වුණේ 2018 වසරේ පොළොන්නරුවේ පැවැති 44 වැනි ජාතික මහා ක්රීඩා උළෙලේදී ය.
අනතුරුව ඇයගේ මුත්රා සාම්පල ඉන්දියාවේ නව දිල්ලියේ පිහිටි රසායනාගාරයට යොමු කෙරුණි.
සාම්පල පරීක්ෂා කර පසුගිය 2019 ජනවාරි මස 18 වැනි දා ලබාදුන් වාර්තාවට අනුව තහවුරු වී තිබුනේ එම සාම්පලවල ෆියුරෝසමයිඩ් සහ ඩියුරෙටික් යන තහනම් උත්තේජක සංඝටක අඩංගු බවයි.
ඉන් අනතුරුව ශ්රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ විනය මණ්ඩලය මෙම සිදුවීමට අදාළ තීරණයක් ලබාදෙන තුරු අදාළ ක්රීඩිකාවට තාවකාලික තරග තහනමක් පනවා ඇත.
නමුත් එතෙක් ඇය බී සාම්පල පරීක්ෂාවකට යොමුවී නොතිබිණි.
කෙසේ වෙතත් ශ්රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් පවත්වනු ලැබූ විනය කමිටු පරීක්ෂණයේ නිර්දේශ මත එම ක්රීඩිකාවට පසුගිය 2018/10/12 වන දින සිට 2022/10/11 දින තෙක් බලපැවැත්වෙන පරිදි වසර 4 ක පූර්ණ තරග තහනමක් පැනවීමට තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ කාලයේදී සියලුම ආකාරයේ ක්රීඩා කටයුතු සහ පුහුණුවීම්වලින් වැළකී සිටිමට ඇයට සිදුවනු ඇති.
එම තීරණය සම්බන්ධයෙන් තෘප්තිමත් නොවන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් වී සති දෙකක් ඇතුළත ශ්රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ අභියාචනා මණ්ඩලය වෙත අභියාචනයක් යොමු කළ හැකියි.
කෙසේ නමුත් මෙරට බහුතරයක් ක්රීඩක ක්රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතා කළේ දැයි තහවුරුකර ගැනීම සඳහා මූත්රා සාම්පල පරීක්ෂා කෙරුණු එම නවදිල්ලි රසායනාගාරයේ කටයුතු ඉකුත් වසරේ මාස 6 ක කාලයක් අත්හිටුවා තිබීම විශේෂත්වයකි.