සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි මියයයි

හිටපු සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි ගුවන් අනතුරකින් මරුට

by Staff writer 27-01-2020 | 6:55 AM
COLOMBO (News 1st) : අමෙරිකා සුපිරි පැසි පන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් ඇතුළු පිරිසක් මුහුණ දුන් ගුවන් අනතුරෙන් මිය ගිය පිරිස 9 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර බ්‍රයන්ට්ගේ හදිසි අභාවය පිළිබඳව ක්‍රීඩාලෝලීහු ඇතුළු විශාල පිරිසක් ශෝකය පළ කර සිටිති. සිකෝස්කි එස් සවන්ටි සික්ස් ( Sikorsky S-76 ) වර්ගයේ පුද්ගලික හෙලිකොප්ටර් යානයක් කැලිෆෝනියාවේදී අනතුරට පත්වීමෙන් එහි ගමන් කළ සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ බවට විදෙස් වාර්තා සඳහන් කළේ ය. එහිදී වැඩි දුරටත් සඳහන් වූයේ 41 හැවිරිදි අමෙරිකා පැසි පන්දු ක්‍රීඩක කෝබි බ්‍රයන්ට් සහ 13 හැවිරිදි ඔහුගේ දියණියද මෙම යානයේ ගමන් කළ බවයි. කෙසේ නමුත් එම යානයේ මගීන් පස් දෙනෙකු ගමන් කළ බවට මීට පෙර වාර්තා වුවද එම පිරිස 9 දෙනෙකු බවට නවතම විදෙස් වාර්තා පවසයි. වසර 20ක කාලයක් ලොස් ඇන්ජලීස් ලේකර්ස් පැසි පන්දු කණ්ඩායමට ක්‍රීඩා කළ බ්‍රයන්ට් තරග බිමට සමු දුන්නේ 2016 වසරේදීයි. ඔහුගේ දායකත්වය යටතේ එම කණ්ඩායම අවස්ථා 5කදී අමෙරිකා ලීග් පැසි පන්දු කිරුළ දිනූ අතර වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා සම්මානයට ද බ්‍රයන් හිමිකම් කීවේ ය. අමෙරිකාව පැසි පන්දු ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කම් දිනූ අවස්ථා දෙකකදීම ඊට සිය දායකත්වය ලබා දුන් බ්‍රයන් වාර්තා අතරට එක්ව සිටින්නේ එරට ලීග් පැසි පන්දු ඉතිහාසයේ තරගයක් තුළ දෙවැනියට ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කළ ක්‍රීඩකයා ලෙසිනි. පැසි පන්දු ක්‍රීඩාව ඇසුරින් බ්‍රයන්ට් නිර්මාණය කළ '' ඩියර් බාස්කට්බෝල්'' නම් කෙටි චිත්‍රපටය 2018 වසරේදී හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තේ ය. මේ අතර බ්‍රයන්ට්ගේ මෙම අනපේක්ෂිත සමුගැනීමෙන් ඔහුගේ ක්‍රීඩාලෝලීන් ඇතුළු බොහෝ දෙනෙක් ශෝකයට පත්ව තිබේ. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, කෝබි බ්‍රයන්ට් ඇතුළු පිරිස මරුමුවට පත් වූ බවට තමන්ට සැල වූ අතර, එය භයානක ආරංචියක් බවයි. කෝබි බ්‍රයන්ට් පැසි පන්දු පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු බවට හිටපු අමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා පවසයි. සුපිරි අමෙරිකා පැසි පන්දු ක්‍රීඩක ශැක් පවසන්නේ, පැසි පන්දු පිටියේ තම සහෝදරයෙකු වූ බ්‍රයන්ට්ගේ අභාවය නිසා තමන්ට ඇති වූ වේදනාව විස්තර කිරීමට වචන නොමැති බවයි. කෝබි බ්‍රයන්ට් සහ ඔහුගේ දියණියගේ අභාවය පිළිබඳව තමන් කනගාටුවට පත්වන බවත්, මේ විශිෂ්ට ක්‍රීඩකයාගේ අභාවය පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සිය කනගාටුව ප්‍රකාශ කරන බවත්, සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසයි. මේ අතර සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් පවසන්නේ, තමන්ගේ හොඳ මිතුරෙකු මෙන්ම උපදේශකයෙකු වූ බ්‍රයන්ට්ගේ අභාවය පිළිබඳව තම ශෝකය සහ කනගාටුව ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පළ කරන බවයි. බ්‍රයන්ට්ගේ අභාවය තමන්ට අදහාගත නොහැකි බවට හිටපු සුපිරි කෙටි දුර ධාවන ශූර ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් පවසයි. මේ අතර සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ලියනොල් මෙසී පවසන්නේ, අති දක්ෂ ක්‍රීඩකයෙකු වූ කෝබි බ්‍රයන්ට් මුණ ගැසීමට තමන්ට අවස්ථාවක් හිමි වූ බවයි. මෙම අභාවයෙන් තමන් අතිශය කම්පාවට පත් වූ බවත්, ඔහුගේ පවුලේ සැමට සිය කනගාටුව පළ කරන බවත් මෙසී සඳහන් කළේ ය. මේ අතර කෝබි බ්‍රයන්ට් ඇතුළු පිරිසට මරු කැඳවමින් ගුවන් අනතුර සිදු වූ ස්ථානයට ක්‍රීඩාලෝලීන් එක් රැස් වෙමින් සිටින බවට විදෙස් වාර්තා පවසයි. ඒ, වසර 20ක් පැසි පන්දුවෙන් තමන් අමන්දානන්දයට පත් කළ මේ සුපිරි ක්‍රීඩකයාට සිය අවසන් ගෞරවය දැක්වීමටයි.