by Staff writer 10-01-2020 | 8:54 PM
COLOMBO (News 1st) - ආන්දෝලනයකට ලක්ව ඇති 'හතේ අපේ පොත' පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ලබන ජනවාරි 21වැනි දා විශේෂ රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබේ.
එම රැස්වීම පැවැත්වෙනු ඇත්තේ, අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි යන දෙපළගේ සහභාගීත්වයෙනි.
පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මෙම තීරණය ගත්තේ ඒකාබද්ධ රැස්වීමකින් අනතුරුවයි.
පාර්ලිමේනතුවේදී පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමට මහා සංඝරත්නය විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් අධ්‍යාපනඥයන්, ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක් වූ විද්වතුන් බොහෝ දෙනෙක් ළමා වියේදීම නවයොවුන් දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බව පෙන්වා දුන් අතර මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල විසින් සිදු කළ සමීක්ෂණ රැසක තොරතුරු ද ඉදිරිපත් කර තිබුණි.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, - හතේ අපේ පොත- නැමැති ග්‍රන්ථය නැවත පාසැල්වලට නිකුත් කළ යුතු බවට යෝජනා වූ අතර මේ සම්බන්ධව අවසන් තීරණය ලබන 21වන දා ගන්නා බවයි.
එදිනට මෙම පොත සම්බන්ධව විවේචන එල්ල කළ මහා සඟරුවනට ද ආරාධනා කිරීමට ද තීරණයක් ගෙන ඇත.