හඬ පට මාධ්‍යයට ලැබුණේ කෙසේ ද?

හඬ පට මාධ්‍යයට ලැබුණේ කෙසේ ද? රන්ජන්ගෙන් අධිකරණයට මෝසමක්

by Staff writer 08-01-2020 | 6:20 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් භාරයට ගත් දුරකථන සංවාද ඇතුළත් හඬපට මාධ්‍යට නිකුත් වීම සම්බන්ධයෙන් අද මෝසමක් ඉදිරිපත් කෙරිණ. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය එය ඉදිරිපත් කරනු ලැබුවේ, රන්ජන් රාමනායක මහතාගේ නීතිඥවරිය වන ආශා කහවත්ත මහත්මිය විසිනි. අදාළ හඬ පට මාධ්‍ය හරහා ප්‍රසිද්ධවීම අධිකරණ ක්‍රියා පටිපාටිය පටහැනි බව මෝසම මගින් දක්වා ඇතැයි නීතිඥ ආශා කහවත්ත මහත්මිය සඳහන් කළා ය. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයින්ට ගත් දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව, කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව, රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිවසින් සොයා ගත් සංයුක්ත තැටිවල අඩංගු කරුණු පිළිබඳව සහ මේ දිනවල සමාජ මාධ්‍ය හා ජන මාධ්‍යවල විකාශය වන හඬ පට පිළිබඳ විමර්ශනය කරන බවයි. අදාළ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ඒ ඒ දුරකථන සමාගම් මගින් වාර්තා කැඳවීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශනය ක්‍රියාත්මකයි. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විදේශ ගත වීම වළක්වමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළේ ය. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ තොරතුරු වාර්තාවක් පදනම් කර ගනිමිනි. එමගින් අපරාධ කොට්ඨාසය අධිකරණයට පැවසුවේ, රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී ශානි අබේසේකර මහතා විදෙස්ගත වීමෙන් බාධා එල්ල විය හැකි බවයි.